CCDය ඇතුලේ කේක් කපා සමරන්න ගිය සෙව්වන්දිගේ උපන්දිනය

0
5

සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ උපන් දිනය යෙදී තිබූ පෙරේදා (29) කොළඹ අපරාධ කොට්ඨාසය තුළ කේක් කපා උත්සවාකාරයෙන් එය සැමරීමට කටයුතු කරන බවට වූ රාවයක් හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවම නොසන්සුන්වීමේ පුවතක් මාධ්‍ය වාර්තා කර තිබේ.

සිද්ධිය සැකවින් මෙසේය.

පෙරේදා (29) ඉෂාරා සෙව්වන්දිගේ උපන් දිනය නිමිත්තෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය තුළ කේක් කපා සැමරීමට සූදානම්වන බවට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා හට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව අදාළ තොරතුර එම කොට්ඨාසයට අනුයුක්ත බුද්ධි අංශ නිලධාරියෙකුගෙන් තහවුරු කරගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම එම ක්‍රියාව නවත්වන ලෙසට එහි ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී දැඩිව පවසා ඇති බව පැවසේ.

අනතුරුව කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතා කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට යවා ඒ පිළිබදව සොයාබලන ලෙස උපදෙස් ලබාදී ක්ෂණිව නියෝජ්‍ය පොලිස්පතිවරයාද එම ස්ථානයට ගොස් ඇත.

එහිදී සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට කේක් ගෙඩියක් ගෙනවිත් ඇති බවකි.

එම අවස්ථාව සැමරීමට සෙව්වන්දිගේ ලොකු අම්මා හා ඇයගේ පුත්‍රයාද කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට පැමිණ තිබෙන බවද ඉෂාරා සෙව්වන්දි රඳවා සිටින සිර කුටියෙන් පිටතට ගෙන ඒ අසල වූ ස්ථානයක කේක් ගෙඩිය කපා සැමරීමට සියලු කටයුතු සූදානම්කර තිබී ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

ඒ සදහා කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා විසින් අවසර ලබාදී ඇති බවද එය වැළකී ඇත්තේ, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසගේ මැදිහත්වීම මත බවද පැවසේ.

අදාළ කේක් ගෙඩිය සෙව්වන්දිගේ සහෝදරයා සිය හිතවතකු ලවා සකසා හැපි බර්ත්ඩේ ඉෂාරා යනුවෙන් ද සඳහන් කර ද තිබී ඇතැයි වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත උපදෙස් දි ඇති අතර ඒ අනුව එම කාර්යංශය මගින් ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා, ඇයගේ ලොකු අම්මා හා ඇයගේ පුතයාගෙන් මෙන්ම අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගෙන් ද ඇතුළුව 15 දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන තිබේ.

එමෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ කියාකලාපය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ලිඛිතව දැනුම්දී තිබේ.

මෙම කේක් ගෙඩිය රැගෙන ඒම සම්බන්ධයෙන් ඉෂාරා සෙව්වන්දිගේ සහෝදරයා සමග අදාළ ස්ථානාධිපතිවරයා දුරකථනය ඔස්සේ කතාබහකර ඇති බවත් කලක සිට ඔවුන් දෙදෙනා දුරකථනය ඔස්සේ කතාබහ කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි ද පැවසේ.

සෙව්වන්දිගේ සහෝදරයා කේක් ගෙඩිය රැගෙන ඒමෙන් පසුව අදාළ ස්ථානාධිපතිවරයා විසින් ඔවුන්ට කේක් කපා ඡායාරූප නොගන්නා ලෙස උපදෙස් දී ඇති බවද පැවසේ.

ඒ අනුව ස්ථානාධිපතිවරයා විසින් අදාළ උපන්දින සාදය සැලසුම්කර අවස්ථාව ලබාදී ඇති බවත් බොහෝ දුරට අදාළ ස්ථානාධිපතිවරයාගේ වැඩ ඉදිරියේදී තහනම් කිරීමට නියමිත බවත් පොලිස් ආරංචිමාර්ගවලින් වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාගේ සෘජු අධීක්ෂණයෙන් කියාත්මක බවද පැවසේ.

මේ අතර, පොලිසියට කිසිදු අපරාධකරුවකු සමග සබඳතාවක් පැවැත්විය නොහැකි බවත්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බවත් සිද්ධිය පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යට පවසා තිබේ.

ඩුප්ලිකේට් ඉෂාරාට කවන්න ගිය සැරයන්

මීට පෙර, ඉෂාරා සෙව්වන්දි සමග නේපාලයේදී අත්අඩංගුවට ගත් ඩුප්ලිකේට් ඉෂාරා හෙවත් තක්ෂි නම් කාන්තාව කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටියදී ඇයට ආහාර පාන ලබාදීම සම්බන්ධයෙන් එහි සිටි පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කර ඇතැයි ද පැවසේ. 

අදාළ පොලිස් සැරයන්වරයා හස්ත සංඥා භාවිතා කරමින් මෙම සැකකාරිය හා සමීප සම්බන්ධතාවක් පවත්වා ඇති බවත් එම නිලධාරියා විසින් අඩක් කෑ බිස්කට්ටුවක් ද ඇයට ලබාදී ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වී තිබිණි.

දරුණු අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන් ද එහි රඳවා සිටියදී කේක් කපා උපන්දිය සැමරීම සම්බන්ධව දැඩි ලෙස කතාබහට ලක්ව තිබිණි.

මූලාශ්‍රය – අරුණ 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here