රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් හිටපු ඇමතිවරු වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කර ඇති නඩුවට විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිර නඩුව දිගටම පවත්වාගෙන යාමට කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල අද (30) තීන්දු කර තිබේ.
එම නඩුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශක කොමිසම විසින් ගොනු කර ඇත්තේ, ක්‍රීඩා සමිතිවලට හා සෞවන සමිතිවලට බෙදාදීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් ආනයනය කර 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාලවලට බෙදා හැරීම තුළින් රුපියල් මිලියන 39ක් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙනි.
මීට පෙර මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් මූලික විරෝධතා මතු කළ ඔවුන්ගේ නීතිඥවරු සිය සේවාදායකයින් දෙදෙනා මේ හා සමාන චෝදනාවලට අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට වරදකරු වී සිර දඬුවමක් නියම වී සිටින බව සඳහන් කර තිබේ.
ඒ අනුව එකම චෝදනාවකට මේ ආකාරයෙන් නැවත නඩු පැවරීම නීතියට පටහැනි බවත් ඒ අනුව මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවත් සඳහන් කරමින් විත්තියේ නීතිඥවරු විසින් මූලික විරෝධතා මතු කර තිබිණි.
එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් සිය නියෝගය ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩුව ගොනු කර තිබුණේ අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ බව සඳහන් කර ඇත.
එහෙත් නීතිපති මෙම නඩුව ගොනු කර තිබෙන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 170 වන වගන්තිය යටතේ බව විනිසුරු පෙන්වා දී තිබේ.
විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් පනත යටතේ ඉදිරිපත් කළ චෝදනා සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ ඉදිරිපත් කළ චෝදනා සංසන්දනය කිරීමේදී ඒවායේ සංඝටක එකිනෙකට වෙනස් බව අධිකරණයට නිරීක්ෂණ වුණේ යැයි සඳහන් කර ඇති විනිසුරු, ඒ අනුව නීතිපතිට මෙම චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීමට හැකියාව තිබෙන බව සඳහන් කර ඇත.
මේ අතර අදාළ නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා නීතිපතිවරයා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 වන වගන්තිය යටතේ කළ ඉල්ලීම මත ඔහු එම නඩුවෙන් මුදා හැරීමටද අධිකරණය තීන්දු කර තිබේ.
ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ ඉදිරිපත් කළ චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට හැකි බවත් ඒ අනුව මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කරන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත.
ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජූනි මස 26 වනදා කැඳවන ලෙසත් විනිසුරු නියෝග කර තිබේ.
2
Saru News
















