බලශක්ති සුරක්ෂිතතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් සපුගස්කන්ද පිරිපහදුව පුළුල්කර දෙවන පිරිපහදුවක් ඉදිකිරීමට ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට හා ඉඩම් අත්පත්කර ගැනීම සඳහා රුපියල් මිලියන 1,684.53 මුදලක් වැය කර තිබුණ ද එකී ව්‍යාපෘතිය මේ වනතෙක් ක්‍රියාත්මක කර නැතැයි වාර්තා වේ.
මෙහි ශක්‍යතා අධ්‍යයනය කිරීම සඳහා 2021 වර්ෂයේ දී රුපියල් මිලියන 171.39 ක වියදමක් දරා තිබුණි.
පිරිපහදුව නවීකරණය කිරීම හෝ පුළුල් කිරීම සම්බන්ධයෙන් කිසිදු භෞතික ප්‍රගතියක් දක්නට නොලැබුණු බවද විගණනය මගින් ද අනාවරණය කර ඇත.
මෙකී ව්‍යාපෘතිය සඳහා අත්පත් කරගත් ඉඩම නිශ්කාර්ය හා ප්‍රයෝජනයට නොගෙන පවතින අතර එම ඉඩම ආර්ථික වශයෙන් පලදායි කටයුත්තක් සඳහා ඛනිජ තෙල් සංස්ථාව විසින් යොදාගෙන නැතැයි ද පැවසේ.
මෙරටට බොරතෙල් සහ ඛනිජ තෙල් නිමි නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වසරකට ආසන්න වශයෙන් ඩොලර් මිලියන 4,233ක් පමණ වැයවේ. එය ශ්‍රී ලංකාවේ මුළු ආනයන වියදමෙන් සියයට 25.2කි.
මින් ඇමරිකානු ඩොලර් මිලියන 3,095.50ක් නිමි ඛනිජ තෙල් නිෂ්පාදන ගෙන්වීම සඳහා වැය වෙයි. ඉන්ධන ඉල්ලීම සපුරාලීමේ දී සපුගස්කන්ද පිරිපහදුව මගින් සියයට 25ක් පමණ සපයනු ලබන අතර සියයට 75ක් ආනයනය මගින් සපුරාගනු ලබයි.
මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසු දිනකට බැරල් 10,000 පිරිපහදු ධාරිතාවයක් සහිත නව පිරිපහදුවක් ඉදිකිරීම සඳහා ජාත්‍යන්තර සමාගම් වෙතින් අභිලාෂ කැඳවා ඇති බවය.
ඒ සඳහා අභිලාෂ 20ක් පමණ ලැබී ඇත. මේ වන විට එම ලේඛන ගොනු ඇගයීම් කටයුතු සිදුකරමින් පවතින බවද බලශක්ති අමාත්‍යාංශය කියයි.
මූලාශ්‍රය – දිවයින
Saru News
















