ශ්‍රී ලංකාව ගිනි තැබීමට විදේශ මාධ්‍ය පවා ක්‍රියාකරන ආකාරය හෙළි කෙරේ – Saru News | සිංහල

0
3

මැදපෙරදිග පවතින දරුණු යුද්ධයේ ඍජු බලපෑම් ශ්‍රී ලංකාවට එල්ල වී තිබෙන අතර, මෙරට සහ විදේශ ඇතැම් මාධ්‍ය ක්‍රියා කරන ආකාරය පිළිබඳව බරපතළ ප්‍රශ්න රැසක් මතු වී තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී ඒ. එම්. එස්. අයුබ් “තවම ඇවිලෙන ඉරාන නැවේ ගින්න” යන සිරස්තලයෙන් පසුගිය සෙනසුරාදා ලිපියක් පළ කර තිබිණි. එම ලිපිය පහතින් දැක්වේ.

ජාතික ජන  බලවේගය බලයට පත් වූ පසු මුහුණ දුන් බරපතළම ප්‍රශ්නය බටහිර ආසියාවේ දැනට වර්ධනය වෙමින් යන යුද්ධමය තත්වය යටතේ රට මුහුණ දෙන ආර්ථික හා දේශපාලන ප්‍රශ්න විය යුතුය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ විශේෂිත ආර්ථික  කලාපය තුළදී ඇමෙරිකානු නාවික හමුදා ටෝර්පිඩෝ ප්‍රහාරයකින් ‘‘අයි.ආර්.අයි.එස්. ඩෙනා’’ නම් ඉරාන යුද නැව විනාශ වීම හා ඒ ආශ්‍රිත ප්‍රශ්නය වත්මන් ආණ්ඩුව මුහුණ දුන් අති දුෂ්කර ප්‍රශ්නයකි. කෙසේ වෙතත් ආණ්ඩුව එය සාර්ථකව කළමනාකරණය කරගත් බව පෙනේ.

එහෙත් එම සිද්ධිය ආශ්‍රිත ඇතැම් ගැටලු හෝ පිළිතුරු නොලද ප්‍රශ්න නැතිවා නොවේ. විශේෂයෙන්ම මෙරට නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා විනාශ වූ නැව ඇතුළු ඉරාන නැව් තුනට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කර තිබූ බව මෙරට ඉරාන තානාපති ආචාර්ය අලි රේසා දෙල්කෝෂ් ජනමාධ්‍යවේදීන් පිරිසකට කළ ප්‍රකාශයෙන් මතුවන ගැටලු තරමක් බරපතළ ඒවාය.

ආණ්ඩුව පෙරළීමේ විපක්ෂ වෑයමේ ඉදිරි පෙළ නායකයකු වන හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද මෙම නැවේ ප්‍රශ්නයේ දී ආණ්ඩුව කටයුතු කළ ආකාරය  විවේචනය කර තිබිණි. ඔහුගේ  ප්‍රධානම විවේචනය එල්ල වන්නේ ඇමෙරිකානු නාවික හමුදාව  මෙම නැව ගිල්වා දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇමෙරිකාවට විරෝධය නොදැක්වීම සම්බන්ධයෙනි.

නාවික හමුදාව හා ආණ්ඩුව මෙම නැව ඇතුළු ඉරාන නැව් තුනක් පිළිබඳව නැව ප්‍රහාරයට ලක්වීමට සති දෙකකට පමණ පෙර දැන සිටිය ද රට ඒවා ගැන දැන ගත්තේ ප්‍රහාරයත් සමගය. ඒ ප්‍රහාරය එල්ල වූ මාර්තු 4 වැනිදා උදය වරුවේය. මුලින්ම පළ වූ ප්‍රවෘත්තිවලින් කියැවුණේ ගාල්ල අසල මුහුදේ විපතට පත් වූ නැවකින් ආධාර ඉල්ලා ලැබුණු ඉල්ලීමක් අනුව නාවික හමුදාව තුවාල ලැබූ නාවිකයන් හා මියගිය නාවිකයන් රාශියකගේ මළ සිරුරු ගොඩට ගෙන ආ බවය.

පසුව එම නැව ඒ වනවිටත් ඇමෙරිකාව හා ඊශ්‍රායලය සමග යුදයක පැටලී සිටි  ඉරානයේ නාවික හමුදාවට අයත් එකක් බවත් ඇමෙරිකානු නාවික හමුදාවේ ටෝපිඩෝ ප්‍රහාරයකට එය ලක්වී ඇති බවත් කියැවිණි. පෙබරවාරි 15 වැනිදා දක්වා ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ විශාඛා පට්නම්හි පැවැති නාවික අභ්‍යාසයකට මෙම ඉරාන නැව් තුන ද සහභාගි වී තිබිණි. ඇමෙරිකානු නාවික හමුදාව ද මෙම අභ්‍යාසයට සහභාගි වීමට නියමිතව සිටිය ද අවසාන මොහොතේ ඇමෙරිකානු නැව් එම සංචාරය අවලංගු කර තිබූ බව කියැවේ. ශ්‍රී ලංකා නාවික හමුදාව ද ඊට සහභාගී විය.

ඉන්දියාවේ නාවික අභ්‍යාසයට සහභාගි වූ තුන්වැනි නැව වන අයි.ආර්.අයි.එස්. ලවාන් ඉන්දියාවේ කොචි වරායට ඇතුල්වීමට ඉන්දියාව මාර්තු 6 වැනිදා ඉඩ දී තිබිණි.

අයිරිස් ඩෙනා නැව ප්‍රහාරයට ලක්වීම සම්බන්ධයෙන් විපක්ෂය ආණ්ඩුව විවේචනය කළේය. එම නැව ගාලු වරායට ඇතුළු වීමට පැය 11කට පෙර අවසර ඉල්ලා තිබියදී එම අවසරය නොලැබීම නිසා එය ඇමෙරිකානු ටෝපිඩෝ ප්‍රහාරයට ලක්වූ  බවට සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් හා කබිර් හාෂිම් යන මන්ත්‍රීවරු චෝදනා කළහ. මෙරට නාවික හමුදාපතිවරයා විශාකාපට්නම්හි පැවැති නාවික අභ්‍යාසයේ දී එම නැවට සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට වාචිකව ආරාධනා කර තිබූ බව නව ප්‍රජතන්ත්‍රවාදි පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ප්‍රකාශ කළේය.

වෙනත් විවිධ ජනමාධ්‍ය වාර්තා  සමග මෙම තොරතුරු සන්සන්දය කර බලන විට ලැබෙන්නේ වෙනත් චිත්‍රයකි. ඒ අනුව පෙබරවාරි 25 වැනිදා අවසන් වූ ඉන්දීය නාවික අභ්‍යාසය අතරතුරදී ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිවරයා ඉරාන නෞකා තුනට සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන්නට වාචිකව ආරාධනා කර ඇත. එම නැව් තුනම නාවික අභ්‍යාසය අවසන් වූ වහාම පෙබරවාරි 25 වැනිදාම ඉන්දීය මුහුදෙන් පිටත් වී ඇත.

මෙම නැව්වලට 26 වැනිදා කොළඹට ඇතුළු වීමට ඉරාන බලධාරීන් අවසර ඉල්ලා ඇත. එදිනම  මිසයිල සහිත තම යුද ගුවන් යානා දෙකකට මත්තල ගුවන් තොටුපොළට ගොඩ බෑමට ඇමෙරිකානු බලධාරීන් මෙරට බලධාරීන්ගෙන් අවසර ඉල්ලා ඇත. ඒ වනවිට බටහිර ආසියා කලාපයේ ගැටුම්කාරී වාතාවරණයක් මෝරාගෙන එමින් තිබූ නිසාත් ඇමෙරිකාව හා ඉරානය එහි දී එකිනෙකට සතුරු රාජ්‍ය වන නිසාත් ශ්‍රී ලංකාව දෙරටේම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇත.

මේ බව ශ්‍රී ලංකාව ඉරානයට දැන්වූයේ  කවදාදැයි පැහැදිලි නැත. එහෙත් තම නැව් තුනට ඉන්දීය වරායවලට ඇතුළු වීමට ඉරානය පෙබරවාරි 28 වැනිදා ඉන්දියාවෙන් අවසර පැතූ බවත් ඒ අනුව පසුදින  එනම් මාර්තු 1 වැනිදා ඊට ඉන්දීය රජය අවසර දුන් බවත් ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයිෂංකර් මාර්තු 9 වැනිදා ඉන්දීය පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

එනම් ශ්‍රී ලංකාව ඉරාන නාවික යාත්‍රාවලට අවසර දිය නොහැකි බව ඉරානයට දැනුම් දී ඇත්තේ පෙබරවාරි 28 වැනිදාට පෙරය. ඔවුන් 28 වැනිදා ඉන්දියාවෙන් අවසර ඉල්ලුවේ ඒ නිසාය. එසේ නම් නාවික හමුදාපතිවරයාගේ ආරාධනය පෙබරවාරි 28 වැනිදා වනවිට වලංගු නොවන තත්වයකට පත්වී ඇත. එසේ නම් ඩෙනා හා බුෂෙහ්ර් යන නෞකා තවදුරටත් මාර්තු 4 වැනිදා දක්වා ශ්‍රී ලංකාව අසල රැඳී සිටියේ මන්දැයි පැහැදිලි නැත. අනෙක් නැව එනම් ලවාන් නමැති නැව පමණක් මාර්තු 4 වැනිදා ඉන්දියාවේ කොචි වරායට ඇතුළු වී ඇත.

ශ්‍රී ලංකාව මෙම නැව් තුනට අවසර නොදීමේ දී ඇමෙරිකානු ගුවන් යානා සඳහා කරන ලද ඉල්ලීමට අමතරව ඒ වනවිට බටහිර ආසියාවේ වර්ධනය වෙමින් තිබූ ගැටුම්කාරී තත්වය සැලකිල්ලට ගත් බව  ජනාධිපතිවරයා පැවැසීය. එහෙත් ඉන්දියාව එම නැව්වලට තම වරායවලට ඇතුළුවීමට අවසර දී  ඇත්තේ යුද්ධය ආරම්භ  වී ඊශ්‍රායලය ඉරාන ආධ්‍යාත්මික නායකයා ඝාතනය කිරීමෙන් ද පසුවය. මෙය මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දීමේ දී දෙරටේ හැකියාව පෙන්වයි.

මෙවැනි අවසරයක් දිය යුත්තේ  ඇමෙරිකාව වරායක් තුළටම පැමිණ වුවද එවැනි නැවකට පහර දීමේ අනතුරද දරාගෙනය. එසේ පහරදීමට ජාත්‍යන්තර නීතිය අනුව වරදක් වුවද වත්මන් යුද්ධයේ දී ප්‍රධානතම වින්දිතයකු වී ඇත්තේ ජාත්‍යන්තර නීතියයි. දැන් ශ්‍රී ලංකාව මෙන්ම  ඉන්දියාව එම අනතුර දරාගෙන  ඉරාන  නැව් දෙකකට ඉඩ දී ඇත.

එවැනි අනතුරක් වළක්වා ගැනීමට ශ්‍රී ලංකාව වැනි රටකට හැකියාවක් තිබේදැයි අපි නොදනිමු. ඩෙනා නෞකාවට පහර දීම කල් තබා ශ්‍රී ලංකා බලධාරීන් දැන ගත්තේ නැද්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නාවික ආවේක්ෂණ උපකරණ ගණනාවක ලැයිස්තුවක් ද ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය. ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේ මුහුදු පතුල හෝ අතරමැදි ගැඹුර අවේක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක් නැති බවත් පැවැති ආණ්ඩු එවැන්නක් සඳහා ආයෝජනය කිරීමට සිතුවේ නැති බවත් නාවික හමුදාවේ හිටපු නාවික මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් වයි. එන්. ජයරත්න මහතා විසින් ෆැක්ටම් වෙබ් අඩවියට ලියන ලද ලිපියක සඳහන් වේ.

එසේම අඩු ලවණ සාන්ද්‍රණයක් ඇති බෙංගාල බොක්කේ මුහුදු ජලයත් වැඩි ලවණ සාන්ද්‍රණයක් ඇති අරාබි මුහුදේ ජලයත් එම දකුණු මුහුදු කලාපයේදී මිශ්‍රවීම නිසා එවැනි  ආවේක්ෂණ යාන්ත්‍රණයක් තිබුණා ද සම්බැරීන ගමනාගමනය පිළිබඳව දැන ගැනීම දුෂ්කර බවද ඔහු සඳහන් කර ඇත.

කෙසේ වෙතත් නාවික හමුදාපතිවරයා ඉරාන නෞකාවලට ආරාධනා කර තිබුණු බව කීමෙන් මෙරට ඉරාන තානාපතිවරයා ඩෙනා නෞකාව විනාශවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දෝෂ දර්ශනයට ලක් කළ බවක් පෙනුණේ නැත. එම ප්‍රකාශය කළ මාධ්‍ය හමුවේදීම ශ්‍රී ලංකාවට ඕනෑම උපකාරයක් කරන්නට ඉරානය සුදානම්  බවට ඔහු කළ ප්‍රකාශයෙන් ඒ බව පෙනේ.

මෙවැනිම ප්‍රශ්නවල දී මෙරට ඇතැම් ජනාමාධ්‍ය පමණක් නොව ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මාධ්‍යවලම හැසිරීම ඇපූරුය. පෙබරවාරි 26 වැනිදා ශ්‍රී ලංකා ඇමෙරිකානු යුද ගුවන්  යානාවලට මෙන්ම ඉරාන යුද නැව්වලට ද මෙරටට ඇතුළුවීමට අවසර නොදුන් බව මාර්තු 5 වැනිදා ජනාධිපතිවරයා ප්‍රකාශ කරන තෙක්ම අදාළ ආණ්ඩුවල ප්‍රධානීන් පමණක් දැන සිටි බව පෙනේ. ජනාධිපතිවරයාගේ  ප්‍රකාශයෙන්  පසු ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය එය වාර්තා කර තිබුණේ ඉරාන නැව් ගැන සඳහනක්  නැතිව ශ්‍රී ලංකාව ඇමරිකානු යුද නැව්වලට ගොඩ බෑමට අවසර නොදුන් බවය. යුද්ධයක් පවතින තත්වයක් තුළ මෙය කරුණු විකෘති කිරීමකි. මෙය ශ්‍රී ලංකාව පිළිබඳව බටහිර රටවල අයහපත් ප්‍රතිරූපයක් මවන්ට ඉඩ තිබේ.

පොදුවේ මෙම නැව්වලට අවසර නොදීමත් විනාශ වූ නැවේ නාවිකයන් බේරා ගැනීමට කටයුතු කිරීමත් කාර්මික  දෝෂයකට ලක් වූ බව කියන අනෙක් නැවේ නාවිකයන්ට රැකවරණය දීමත් නිසා ආණ්ඩුව විවිධ රටවල හා මෙරට විපක්ෂයේ  ඇතැම් අයගේද ප්‍රශංසාවට ලක්වුවද ආණ්ඩුව පවතින යුද්ධයේ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට විශාල අරගලයක් කරමින් සිටී.

විශේෂයෙන්ම තෙල් මිල විශාල වශයෙන් ඉහළ දැමීමට සිදුවීමත් එහි ප්‍රතිඵලයක් වශයෙන් සෑම භාණ්ඩයකම හා විදුලිය වැනි සෑම සේවාවකම මිල ඉහළ යාමේ අනතුරක් දැනට නැතත් ඉදිරියේදී විශාල මහජන අප්‍රසාදයකට හේතු විය හැකිය.

මේ තත්වය ඇති වූයේ 2022 දී  මෙන් මහා පරිමාණ දූෂණය, අකාර්යක්ෂමතාව හා වැරැදි කළමනාකරණය නිසා නොව කුමන පක්ෂයක් බලයේ සිටියත් පාලනය කළ නොහැකි බාහිර ප්‍රශ්නයක් නිසා බව කාටත් පෙනෙන දෙයකි. එහෙයින් බඩු මිල විදුලි ගාස්තු ඉහළ යාම් හා ඇතැම් විට ඉදිරියේ දී ඇතිවිය හැකි විදුලි කප්පාදුව වැනි තත්වයකට මහජන අප්‍රසාදය එල්ල වුවද විපක්ෂය අපේක්ෂා කරන ආකාරයට 2022 දී මෙන් ආණ්ඩුව පළවා හරින්නට ජනතාව වීදි බසිනු ඇතැයි සිතිය නොහැකිය. පවතින ආණ්ඩුව පළවා හැර පත් කර ගන්නේ  කවුරුන්ද යන ප්‍රශ්නයද ජනතාව හමුවේ ඇති ප්‍රශ්නයකි.

එම්.එස්.එම්.අයුබ් (ලංකාදීප) 


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here