අනවසරයෙන් පෙට්‍රල් ලීටර් 48ක් තම නිවසේ රහසිගතව සඟවා තබාගෙන වැඩි මුදලට අලෙවි කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි නිකවැරටිය වැඩ බලන මහේස්ත්‍රාත් ජේ.එම් විමලසේන අද (28) නියෝග කර ඇත.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ නිකවැරටිය, හුලුගල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. බී වාර්තාවක් මගින් ඇය පෙට්‍රල් ලීටර 48ද සමග අධිකරණය ඉදිරිපත් කර තිබේ.
එදිනට සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද නිකවැරටිය වැඩ බලන මහේස්ත්‍රාත් ගිරිල්ල පොලිසියට නියෝග කර ඇත.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් පෙට්‍රල් සඟවාගෙන අලෙවි කරන බවට ලද තොරතුරක් මත අදාල නිවස වැටලු බව පොලිසිය අධිකරණයට දන්වා තිබේ.
එම අවස්ථාවේ සැකකාර කාන්තාව සමග ඇගේ සැමියාද නිවසේ සිටි බවද අධිකරණයට කියා සිටි පොලිසිය නිවස සෝදිසි කර සඟවා තිබු පෙට්‍රල් ලීටර් 48 පොලිස් භාරයට ගත් අවස්ථාවේ සැකාරියගේ සැමියා නිවසින් පලාගොස් ඇති බවද සඳහන් කර ඇත. පලා ගිය සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමට ඇති බැවින් සහ සිද්ධිය සමිබන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බැවින් සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙසට පොලිසිය ඉල්ලා ඇත.
0
Saru News
















