සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක්. විමර්ශනය ශානිගෙන් ඉවත් කරන ඉල්ලීම ප්‍රතික්ෂේපයි

0
4

දැනට රැඳවුම් භාරයේ තබාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ අප්‍රේල් 22 වැනිදා අනිවාර්යයෙන්ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මෙහස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ඒ, 2018 වසරේ නොවැම්බර් 29 වැනිදා වව්නතිව්හිදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනයවීම සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පසු සයින්දමරුදු නිවසක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධ නඩුව ඊයේ (26) කැඳවූ අවස්ථාවේදී ය.

සුරේෂ් සලේ මේ වනවිට හුදෙක් රැඳවුම් භාරයේ සිටින තැනැත්තෙකු නොව මෙම අපරාධ නඩුවේ තුන්වන සැකකරු වශයෙන් නම්කර ඇති අයෙකු බැවින් ඔහුව මීළඟ නඩු දිනයේදී අනිවාර්යයෙන්ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ.

CID නිලධාරීන් මෙහිදී කරුණු දක්වමින් අධිකරණයට පැවසුවේ,

“ස්වාමිනි, සැකකාර සුරේෂ් සලේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර යුද හමුදා බුද්ධි අංශය මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තොරතුරුකරුවෙකු හරහා මුස්ලිම් අන්තවාදීන් සිව්දෙනෙකුට කතෝලික පල්ලිපෙන්වූ බවට ප්‍රකාශ ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් පසුගිය නඩුවාරයේ අප අනාවරණ කළා. පසුදින යුද හමුදා බුද්ධි නිලධාරියෙකු එම සාක්ෂිකරුගේ නිවසට ගිහින් තියෙනවා. දැන් ඔහු නිවස අත්හැර ගිහින්. ඒ හරහා සාක්ෂිකරුට යම් බලපෑමක් වෙලා තියෙනවා” යනුවෙනි.

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් නීතිඥ අසිත් සිරිවර්ධන අධිකරණයට කරුණු දක්වමින්,

“ස්වාමිනි, මේ ත්‍රස්ත ප්‍රහාරයට පසුව ජාත්‍යන්තර කණ්ඩායම් සිදුකළ විමර්ශනවලදී පවා මාගේ සේවාදායකයාට එරෙහිව කිසිදු කරුණක් අනාවරණය වී නැහැ. ජනාධිපති පරීක්ෂණ කොමිසමේ හෝ මගේ සේවාදායකයාට එරෙහිව නිර්දේශ නැහැ. සැකකාරයෝ 25කට එරෙහිව අධිචෝදනා 23,000ක් තියෙන කොළඹ මහාධිකරණ නඩුවේවත් මගේ සේවාදායකයාගේ නම නැහැ. එහෙම තියෙද්දි මේ ප්‍රහාරය ගැනම විමර්ශනය කළ ජයකි ද අල්විස් වාර්තාවෙන් නඩු පවරන්න කියලා නියෝග කරපු වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ කොන්ත්‍රාත් පදනමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ශානි අබේසේකර යටතේ සිදුකරන නඩුවකට මගේ සේවාදායකයාට චෝදනා ගොනුකරලා තියෙනවා”

“මේ සිදුකෙරෙන විමර්ශනයට පාදක වෙලා තියෙන්නේ චැනල් 4 වාර්තා වැඩසටහන. එහෙම තියෙද්දිත් ඒ පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ අවසන් වාර්තාව මේ නඩු ගොනුවේ නැහැ. ඒ වාර්තාවේ තියෙනවා දැනට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබමින් ඉන්න අසාද් මව්ලානා නමැත්තා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ සිදුකරන ලද ප්‍රකාශය මෙරට පත්කරන ලද කමිටුව විසින් ඉල්ලපුවාම එය දෙන්න බැහැ කිව්වා කියලා. මොකද අසාද් මව්ලානා ඒ ප්‍රකාශය දෙනවාට අකමැත්ත පළකරලා තියෙනවා. එහෙම ප්‍රකාශය දෙනවාටත් අකමැති පුද්ගලයෙක් කරපු ප්‍රකාශයක් මත පදනම්වෙලා කොහොමද ස්වාමිනි මේ විමර්ශනය කරන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වුණු රෝහාන් ප්‍රෙමරත්න සාරා ජෙස්මින්ගේ DNA වාර්තා සිදුකිරීම සම්බන්ධයෙන් මේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. එම ප්‍රකාශයේ මගේ සේවාදායකයාට වාසි සහගත කරුණු ඇතුළත් වන බැවින් විමර්ශන නිලධාරීන් එය අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැහැ. ස්වාමිනි, මේ විමර්ශනය සම්පූර්ණයෙන්ම පක්ෂග්‍රාහිව සිදුකරන්නේ. ප්‍රධාන විමර්ශන නිලධාරියා වෙච්ච අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂවරයා ශ්‍රෙෂ්ඨාධිකරණයට දුන්නු දිවුරුම් ප්‍රකාශයකින් පිළිගෙන තිබෙනවා ඔහු එම තනතුරට ඒමට මාස 02කට කළින් දේශපාලනය කළා කියලා. ස්වාමිනි ස්වාභාවික යුක්තියේ මූලධර්මයක් තමයි තමන්ගේ නඩුවේ විමර්ශනය තමන්ම නොකළ යුතුයි කියන එක. ඉතිං ස්වාමිනි මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මේ විමර්ශනය වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂවරයා යටතේ නොමැති වෙනත් ඕනෑම විමර්ශන කණ්ඩායමකට යොමු කරන්න කියලා”

ඊට ප්‍රතිචාර දක්වමින් CID නිලධාරීන් පැවසුවේ “ස්වාමිනි, විත්තිය කියන විදිහට මේ විමර්ශනය ශානි අබේසේකර මහත්තයාගෙවත් වෙන කාගෙවත් වුවමනාවට සිදුවෙන්නේ නැහැ. මේ තුන්වන සැකකරුව අත්අඩංගුවට ගත්තේ ඔහුගේ සැකකාරභාවය පිළිබඳ පැහැදිලිව ප්‍රමාණවත් කරුණු තියෙන නිසයි. හැමදේම විවෘත අධිකරණයේ කියන්න බැරිවුනාට අපි මේ වෙද්දිත් සාක්ෂිකරුවන් 05 දෙනෙකුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරලා ප්‍රකාශ ලබා දී තිබෙනවා. මේ විමර්ශනය සිදුවෙන්නේ විශාල සිද්ධින් දාමයක සම්බන්ධතාවයන් ගැන. ඒ සිදුවීම් සියල්ලට යුද්ධ හමුදා බුද්ධි අංශයේ සහ රාජ්‍ය බුද්ධි සේවයේ ඇතැම් නිලධාරීන්ගේ සම්බන්ධතා තිබුණාද කියලා විමර්ශනය වෙනවා” යනුවෙනි.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රැඳවුම්භාරයේ සිටින තුන්වැනි සැකකරුගෙන් නීතිඥවරයා උපදෙස් ලබාගන්නා අවස්ථාවේ එම සන්නිවේදනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇහුම්කන් නොදිය යුතු බවටත්, චැනල් 4 වැඩසටහනේ අදාළ ප්‍රකාශ සිදුකරන තැනැත්තාගෙන් ප්‍රකාශ ලබාගෙන නැතැයි විත්තිය කියන බැවින් ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමට වහාම කටයුතු කරන ලෙසත් ය. විමර්ශකයා මාරු කරන ලෙස කර ඇති ඉල්ලීම බරපතළ ඉල්ලීමක් බව පැවසූ මහේස්ත්‍රාත්වරයා ඔහුගෙන් විමර්ශනය ඉවත්කිරීම හරහා යම් වරදක් වුවහොත් එය නිවැරදි කිරීමට නොහැකි බැවින් ඉදිරියේදී අවශ්‍ය වුවහොත් ඒ ගැන අවධානය යොමුකරන බවත් දැනට එම ඉල්ලීම ඉවත දමන බවත් ප්‍රකාශ කළේය.

The post සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක්. විමර්ශනය ශානිගෙන් ඉවත් කරන ඉල්ලීම ප්‍රතික්ෂේපයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here