පවතින දැඩි වියළි කාලගුණය සහ අධික උෂ්ණත්වය හේතුවෙන් දිවයිනේ කුකුළු ගොවිපොළවල සතුන් මියයාමේ ප්‍රවණතාවක් පවතින බවත්, බිත්තර නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවත් සත්ත්ව නිෂ්පාදකයෝ පවසති.
ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර මහතා සඳහන් කළේ, බ්‍රොයිලර් සතුන්ට පවතින අධික රස්නය දරාගැනීමට නොහැකි වීම මීට ප්‍රධාන හේතුව වී ඇති බවයි.
මෙම තත්ත්වය හමුවේ බිත්තර නිෂ්පාදනය ද සියයට 20කින් පමණ අඩු වී ඇති බව ඔහු වැඩිදුරටත් අනාවරණය කරයි.
විශාල සතුන් ප්‍රමාණයක් රඳවා සිටින ගොවිපොළ කූඩුවල උෂ්ණත්වය නියමිත මට්ටමක පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වන අතර, විදුලිය විසන්ධි වන අවස්ථාවලදී විදුලි ජනන යන්ත්‍ර (Generators) අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සිදු වේ.
එබැවින් එම යන්ත්‍ර සඳහා අවශ්‍ය ඩීසල් ඉන්ධන බාධාවකින් තොරව ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව ද සභාපතිවරයා පවසා සිටියි.
මෙම අර්බුදය හමුවේ ඉදිරියේදී වෙළෙඳපොළේ කුකුළු මස් සහ බිත්තර මිල කෙරෙහි ද බලපෑමක් එල්ල වීමේ අවදානමක් පවතින බව පෙනී යයි.
Saru News
















