අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ඒ, ඔහුව ඊයේ (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට පැවසුවේ 2012 සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට සිය අමාත්‍යංශය මගින් ඉන්ධන දීමනා වෙන්කර තිබියදී නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස ශ්‍රීලන්කන් සමාගමෙන් රුපියල් 28 ලක්ෂ පනස් තුන්දහස් නවසිය තිස්පහක මුදලක් මෙම සැකකරු විසින් ගෙවා තිබෙන බවයි.
ආරම්භයේදී මාස් පතා රුපියල් 50,000 බැගින් ඉන්ධන දීමනා වශයෙන් ගෙවා ඇති අතර පසුව එම මුදල මසකට රුපියල් 75,000ක් දක්වා වැඩිකර තිබෙන බවත් පැවසූ එම නිලධාරීන් ඒ අනුව දූෂණය නමැති වරද සිදුකිරීම සම්බන්ධයෙන් සැකකාර නිශාන්ත වික්‍රමසිංහ අත් අඩංගුවට ගත් බවත් සඳහන් කළේය.
කෙසේවෙතත් ඔහුව ඇප මත මුදාහැරීමට විරුද්ධ නොවන බවත් එම කොමිසමේ නිලධාරීහු අධිකරණයට පැවසූහ.
ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාල සැකකරු රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ අතර සැකකරුගේ විදෙස් ගමන් ද තහනම් කළේය.
පැමිණිල්ල ජුලි මස 28 වන දා යළි කැඳවීමට නියම කෙරිණි.
නිශාන්ත වික්‍රමසිංහ යනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා ය.

The post අත්අඩංගුවට ගත් නිශාන්ත වික්‍රමසිංහ ඇප මත මුදාහැරේ appeared first on LNW Sinhala.
Saru News
















