රෙන්ට් එකට ගෙනා පිඹුරා එක්ක නටපු නෙත්මිට ලක්ෂ 5ක ඇපයක්; තවත් අවශ්‍ය අය අත්අඩංගුවට

0
3

ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියකු වන චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කරන ලද අවුරුදු කුමරා හා කුමරිය තේරීමේ උත්සවයකදී පිඹුරකු කරේ දමාගෙන නර්තනයේ යෙදී වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත කඩ කළ නෙත්මි හිරන්යා නමැති සැකකාර තරුණිය රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (24) නියෝග කළේය.

අදාළ සැකකාරියව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඩි.ජේ. ප්‍රේමරත්න මහත්මිය වනජීවී දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ නියෝගයට අනුව ඒ සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදුකල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් විසින් ඇයව කැඳවා ප්‍රකාශ ලබාගෙන, වනජීවී අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කර තිබිණි.

එහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කල වනජීවී නිලධාරීන්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පිඹුරකු සමඟ නර්තනයේ යෙදෛන තරුණියගේ වීඩියෝ පටය ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කරන ලද, කොළඹ රෝයල් මාස් එරීනා පරිශ්‍රයයේදී පවැත්වූ “CJ රාජකීය අවුරුදු කුමරා කුමරිය – 2026” තේරීමේ තරඟයට සහභාගි වූ එක් අපේක්ෂිකාවක විසින් ඉකුත් මාර්තු 20 වැනිදා රාත්‍රියේ සිදුකල ඉදිරිපත් කිරීමක් බව කියා සිටියේය.

ඇය විසින් අදාළ නර්තනයට යොදාගෙන ඇති උරගයා වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතින් ආරක්ෂිත උරගයකු වන පිඹුරෙකු (Python molurus) බවත්, එය උක්ත පනතේ 30 (1) (ඈ) වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් බවත් අධිකරණයට දන්වා සිටියේය.

ඇය එම පිඹුරා එදින උදෑසන පුත්තලම ප්‍රදේශයේ සිටිනා පුද්ගලයකුගෙන් කුලී පදනම මත ලබා ගෙන ඇති බවත්, අදාල තරඟ අංගය නිමවූ වහාම නැවත එම පුද්ගලයා හට එම උරගයා ලබා දුන් බවත්, මේ සඳහා ඇය විසින් එම තැනැත්තාට රු. 25,000/-ක මුදලක් ලබා දී ඇති බවත් අනාවරණය වී ඇති බව අධිකරණයට දන්වා සිටියාය.

ඒ අනුව සැකකාරියගෙන් ලබාගත් ප්‍රකාශ ඔස්සේ ඉදිරි විමර්ෂණ කටයුතු තව දුරටත් සිදුකරන බවත්, සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් ගෙන් ප්‍රකාශ ලබා ගැනීම හා අවශ්‍ය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සිදුකර ගරු අධිකරණයට වාර්තා කරන බවත් වනජීවි නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධව නඩුව ලබන මැයි 15 වැනිදා නැවත කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

ඒ අනුව අදාල ඉදිරි විමර්ෂණ කටයුතු බෙල්ලන්විල පිහිටි කොළඹ දිස්ත්‍රීක් අඩවි ආරක්ෂක කාර්යාලය මගින් සිදුකරනු බවද එහිදී වනජීවී නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here