බලශක්ති ආර්ථිකය සංවර්ධනය කිරීම පිළිබඳ විශේෂඥ කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්සද මේ සම්බන්ධයෙන් කරුණු අනාවරනය කළේය.
ඒ අනුව, ජාතික ප්‍රතිපත්ති, උපාය මාර්ග සහ ප්‍රතිඵල ලබා දීමේ රාමු එකිනෙකට අනුකූල වන පරිදි බලශක්ති ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා වන රාමුව සකස් කිරීම සඳහා ආචාර්ය හාන්ස් විජේසූරියගේ සභාපතිත්වයෙන් යුතුව මෙම විශේෂඥ කමිටුවක් පත් කර ඇත.
ජාතික ආර්ථිකයේ තිරසර වර්ධනයක් අත්කර ගැනීම සහ එය පවත්වා ගෙන යාම සඳහා නව්‍ය මෙන්ම පුරෝකථනය කළ අනාගත ප්‍රවේශයන් ගවේෂණය කිරීමෙහි සහ ක්‍රියාවට නැංවීමෙහි වැදගත්කම රජය විසින් හඳුනාගෙන ඇතැයි ඊට අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.
ඒ අනුව, ප්‍රමුඛ ක්ෂේත්‍රයක් වශයෙන් බල ශක්ති ආර්ථිකය හඳුනාගනු ලැබ ඇති නමුත්, ප්‍රධාන ආර්ථික අංශ අතර ඒකාබද්ධතාවයේ පවතින දුර්වලතා හේතුවෙන් එම ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා ඉදිරිපත් වීමේ පසුබෑමක් දක්නට ලැබුණ බව එහි දැක්වේ.
එම කරුණු සැලකිල්ලට ගනිමින්, තිරසර ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා ඒකාබද්ධ ආර්ථික සංවර්ධන රාමුවක් පැවතීමේ අවශ්‍යතාව ජනාධිපති විසින් 2026 වර්ෂය සඳහා වන අයවැය මගින් අවධාරණය කර තිබිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.








1
Saru News













