තිරිගු පිටි සහ ආනයනික කිරිපිටි මිල ඉහළ නොදමන්න සමාගම් එකඟ වෙලා!

0
3

කොළඹ LNW:මෙරට ආනයනික කිරිපිටි මිල සහ තිරිඟු පිටි මිල කිසිසේත් ඉහළ නොදැමීමට කිරිපිටි ආනයනකරුවන් හා තිරිඟු පිටි සමාගම් එකඟතාවය පළකර ඇත.

පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් සැපයුම් හා බෙදාහැරීමේ ජාලයන්ට එල්ල වී ඇති බලපෑම් හා අඛණ්ඩ සැපයුමක් පවත්වා ගෙන යාම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කිරිපිටි ආනයනකරුවන් සහ තිරිඟු පිටි ආනයන සමාගම් (ප්‍රීමා සහ සෙරන්ඩිබ්) ඊයේ (23) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයට කැඳවූ අවස්ථාවේ ඔවුන් මෙම එකඟතාවය පළකර තිබේ.

ඉන්ධන මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය තම නිෂ්පාදන පිරිවැයට යම් බලපෑමක් එල්ල කළ ද මෙම අසීරු අවස්ථාවේ ජනතාව වෙනුවෙන් රජය සමඟ එක්ව ජනතාවට යම් සහනයක් ලබාදීම අපේක්ෂාව බව එම සමාගම් පැවසීය.

ඒ හේතුවෙන් තවත් මාස තුනක කාලයකට ප්‍රමාණවත් ආනයනික කිරි පිටි හා තිරිඟු පිටි තොග සැපයීම පිළිබඳ සහතික විය හැකි බවත්, එළඹෙන අලුත් අවුරුදු සමය අවසන් වන තෙක් කිසිදු ආකාරයක මිල වැඩි කිරීමක් සිදු නොකරන බවත් ආනයනික කිරිපිටි සමාගම් සහ තිරිඟු පිටි සමාගම් තහවුරුවක් ලබා දී තිබේ.

එමෙන්ම ඉන්ධන කෝටාව නිසා බෙදා හැරීම්වලට බලපෑම් එල්ල වී ඇති බව ආනයනික කිරි පිටි හා තිරිඟු පිටි සමාගම් විසින් පෙන්වාදුන් අතර ආහාර බෙදා හැරීමේ ක්ෂේත්‍රයේ නියුතු ප්‍රවාහන සේවා සපයන්නන්ගේ ඉන්ධන අවශ්‍යතා හඳුනා ගැනීමට සහ එම අංශයේ සැලසුම්කරණය විධිමත් කිරීම අරමුණු කර ගනිමින් හඳුන්වා දුන් විශේෂ දත්ත රැස්කිරීමේ වැඩසටහනට ලියාපදිංචි වන ලෙස එහිදී සමාගම් වෙත උපදෙස් ලබා දී ඇත.

මෙම සාකච්ඡාවට අමාත්‍යංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා මහතා, අතිරේක ලේකම් ගිල්මා දහනායක මහත්මිය, වෙළෙඳ හා පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ කුමුදු මීගහ ගේ මහතා මෙන්ම පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා, ලංකා සතොස සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි විය.

The post තිරිගු පිටි සහ ආනයනික කිරිපිටි මිල ඉහළ නොදමන්න සමාගම් එකඟ වෙලා! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here