ශ්‍රී ලංකාව පළමු පිම්ම පනී

0
9

කමිල් මිශාරගෙන් සුපිරි ඉනිමක්

පැතුම් නිස්සංකගෙන් 16 වැනි අර්ධ ශතකය

ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය

කමිල් මිශාරගේ ප්‍රහාරත්මක පිතිකරණය සහ බංග්ලාදේශ් කණ්ඩායම පන්දු වාර විස්සක් ඇතුළතදී ලකුණු 139කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීම නිසා ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට හිමි වූ පළමු තරගයෙන්ම කඩුලු හයක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේ තවත් පන්දු 32ක් ඉතිරිව තිබියදීය.

තවද ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ ඉහළින්ම සිටින්නේ තම 16 වැනි අර්ධ ශතකය කණ්ඩායමට එකතු කරමින් කමිල් මිශාර සමග සුපිරි පිතිකරණයේ යෙදුණු පැතුම් නිස්සංකයි. පැතුම් අර්ධ ශතකය සම්පූර්ණ කිරීමත් සමග විස්සයි – 20 තරගවලදී ලකුණු 2000 සීමාව පසු කරසිටී.

අඩුඩාබිහි සෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැති ආසියානු කුසලානය විස්සයි – 20 තරගාවලියේ බී කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඇරඹි තරගයේ කාසියේ වාසිය ලබාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක තීරණය කළේ රාත්‍රි කාලයේ තණතීරුවේ මුලින්ම පන්දු යවන්නන්ට වාසිදායක වීමට හේතු තිබූ නිසාය.

ආරම්භයේදීම නුවන් තුෂාර සහ දුෂ්මන්ත චමීර බංග්ලාදේශය දැඩි පීඩනයකට ලක්කරමින් නිලකුණු පන්දුවාර දෙකක් යොමු කළේ දෙදෙනාම එක් කඩුල්ල බැගින් ලබාගෙනය.

අන්ද මන්ද වී සිටි බංග්ලාදේශය ලකුණු ලබාගත්තේ පන්දු 14කට පසුවය. තවද මාස දෙකකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ වනිඳු හසරංග දෙවැනි පන්දුවේදීම කඩුල්ලක් ලබාගනිමින් තරගයට හොඳ ආරම්භයක් ලබාදුන්නේය.

තව්හිද් හිදොයි ලබාදුන් උඩපන්දුව ශ්‍රී ලංකා නායකයා බිම දැමුවත් ඊළඟ පන්දුවේදී කමිල් මිශාර පන්දුව කඩුල්ලට දමා ගැසීමෙන් හිදොයිට උඩපන්දුව ගිලිහීයෑමේ වාසිය ලබා ගැනීමට හැකියාව නොලැබුණි.

බංග්ලාදේශය වැටී තිබූ ආගාධයේ යම්තම් හෝ ගොඩගැනීමට ශම්මි හොසේන් සහ ජේකර් අලි එක්ව පන්දු 61ක් තුළදී ලකුණු 86ක් ලබාගත් අතර 19 වැනි පන්දු වාරයේදී මතීෂ පතිරණට දිගට හරහට පහර දෙමින් ලකුණු 18ක් ලබාගත්තේ බංග්ලාදේශ කණ්ඩායමට යම් තරගයක් ලබාදීමට හැකි ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනි. අවසානයේදී බංග්ලාදේශය පන්දුවාර 20කදී කඩුලු 5ට ලකුණු 139ක් ලබාගත්තේය.

ලකුණු 140ක පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්ය.

කුසල් මෙන්ඩිස්ට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ඉඩ ලබානොදුන් බංග්ලාදේශය ලකුණු 3කට දවාගත්තේය.

ඉන්පසු පැතුම් නිස්සංකට එක්වූ කමිල් මිශාර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95ක සම්බන්ධතාවක් පැවැත්වූයේ ජයග්‍රහණයේ විශාලම කොටස අවසන් කරමිනි.

16 වැනි අර්ධ ශතකය ලබාගත් පැතුම් ලකුණු 50කට දැවී ගියේ හයේ පහරවල් 1ක් සහ හතරේ පහරවල් හයක් තමන් සතු කර ගනිමිනි.

ඉන්පසු තවත් කඩුලු දෙකක් පමණක් බිඳ වැටෙද්දී ශ්‍රී ලංකාවට පන්දුවාර 5 පන්දු 2ක් ඉතිරිව තිබියදී ඉලක්කය පසුකර ගැනීමට හැකියාව ලැබුණි.

බංග්ලාදේශය පන්දුවාර 20 කදී කඩුලු 5කට ලකුණු 139 යි – (ශමීම් හොසේන් 42, ජේකර් අලී 41, ලිටන් දාස් 28, ටැන්සිඩ් හසන් 00, පර්වේස් එමෝන් 00, තව්හිද් රිදෝයි 08, මෙහෙදි හසන් 09, වනිඳු හසරංග 25/2, දුෂ්මන්ත චමීර 17/1, නුවන් තුෂාර 17/1)

ශ්‍රී ලංකාව පන්දුවාාර 14.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 140 යි – (පැතුම් නිස්සංක 50, කමිල් මිශාර 46, චරිත් අසලංක 10, කුසල් මෙන්ඩිස් 03, කුසල් පෙරේරා 09, දසුන් ශානක 01, මෙහෙදි හසන් 29/2, ටැන්සිඩඩ් හසන් 23/1, මුස්ටෆිසූර් රෙහ්මාන් 35/1)

සුසිල් ජයකොඩි

සංස්කරණය – සුසිල් ජයකොඩි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here