දැන් ලෝකයම ජෙන්සි එසේ නොවේ නම් Generation Z (Gen Z) පරම්පරාව ගැන කතා කරයි. මෙම පරම්පරාව ආරම්භ වන්නේ, කොතැනින් ද යන්න පිළිබඳව පරස්පර විරෝධී අදහස් කිහිපයක් තිබේ. ඇතැම් පිරිස් මෙම පරම්පරාව 1997 වසරේ සිට ඉපදුණු පුද්ගලයන්ගෙන් ඇරඹුණු බවත්, තවත් පිරිසක් 2000 වසරේ සිට ඉපැදුණු අය Gen Z පරම්පරාවට අයත් බවත් පවසති. මෙම පරම්පරාවේ ආරම්භය කුමන වසරක සිදු වුවද, මෙම පරම්පරාව නියෝජනය කරන පිරිස තරුණ මෙන්ම, තාක්ෂණයෙන් තොර ජීවිතයක් කිසිදා දැන නොසිටි පිරිසක් ලෙස හැඳින්වේ. ඇමෙරිකානු මනෝ විද්‍යාඥ ආචාර්ය ජීන් ට්වෙන්ජ් ඉදිරිපත් කර ඇති පරිදි, Gen Z පරම්පරාවේ විකල්ප නාමය iGen ලෙසට හඳුන්වනු ලැබේ. එම පරම්පරාවේ ඉපැදුණු පුද්ගලයන් අභිලාෂකාමී, ඩිජිටල් තාක්ෂණයෙන් ස්වයංපෝෂිත වූ සහ ආත්ම විශ්වාසයක් ඇති යන ලක්ෂණවලින් හෙබි අය ලෙස හඳුන්වා දී ඇත. ‘සමාන ලක්ෂණ ඇති විවිධ පරම්පරා කණ්ඩායම් පිළිබඳ’ විශේෂඥයකු වන ආචාර්ය ඇලෙක්සිස් ඇබ්‍රම්සන් පවසන්නේ, “ඔබ ඉපදෙන විට ඔබේ ආකල්ප, ඔබේ සංජානන, ඔබේ වටිනාකම්, ඔබේ හැසිරීම්වලට බලපාන කරුණු අනුව” මානව ඉතිහාසයේ පරම්පරා නිර්වචනය කරන බව ය. ඉන් අදහස් කෙරෙන්නේ, සෑම පරම්පරාවකටම ආවේණික වූ ලක්ෂණ ඇති බව ය. කවරක් නමුත් ජෙන්සි පරම්පරාව සිදු කළ කැරැල්ල හරහා නේපාලයේ ආණ්ඩු වෙනසක් මෙන්ම දැවැන්ත විනාශයක් ද සිදුව තිබේ. එම විනාශය ඩොලර් බිලියන ගණනකි. නේපාලයේ අන්තර්කාලීන අගමැති ධුරයට සුෂිලා කාර්කි පත්ව තිබේ. ඇය එරට පළමු අගමැතිනිය වන අතර හිටපු අගවිනිසුරුවරියකි. ඇය දිවුරුම් දුන්නේ සිකුරාදා රාත්‍රියේය. දූෂණයට සහ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව විරෝධතා දැක්වූ තරුණ විරෝධතාකරුවන්ගේ දැවැන්ත විරෝධතා මධ්‍යයේ ඉකුත් අඟහරුවාදා නේපාල අගමැති කේ. පී. ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්විය. 73 හැවිරිදි අගමැති පන්නා දැමූ අලුත් පරම්පරාව තවත් 73 හැවිරිදි කාන්තාවකට බලය ලබා දී තිබේ. නේපාලයේ අධිකරණ පද්ධතිය ස්ථාපිත කර වසර 65 කට වැඩි ඉතිහාසයේ පළමු කාන්තා අගවිනිසුරුවරිය බවට පත්වූයේ සුශිලා කාර්කි ය.
ඇත්තෙන්ම තරුණ ප්‍රජාව අගමැති පත්කර ඇත්තේද ඇප් එකක් හරහාය. මේ සමාජ මාධ්‍ය වේදිකාව ඇමෙරිකාවේ නිෂ්පාදිත එකකි. Discord යනු VoIP (Voice over Internet Protocol, හෝ සරලව අන්තර්ජාල ඇමතුම්) හැකියාවන් සහිත ක්ෂණික පණිවිඩකරණ වේදිකාවක් වන අතර, එමඟින් එහි පරිශීලකයන්ට කෙටි පණිවිඩ, හඬ සහ වීඩියෝ ඇමතුම් සහ මාධ්‍ය බෙදාගැනීම හරහා සන්නිවේදනය කිරීමට ඉඩ සලසයි. ජේසන් සිට්‍රොන් සහ ස්ටැනිස්ලාව් විෂ්නෙව්ස්කි විසින් 2015 දී ආරම්භ කරන ලද Discord දැන් නේපාලයේ නව අගමැති තෝරා තිබේ. පාර්ලිමේන්තුවට කඩා වැදී තම අගමැතිට ඉල්ලා අස්වීමට බල කිරීමෙන් දින කිහිපයකට පසු, නේපාලයේ ජෙන්සි පරම්පරාවේ විරෝධතාකරුවන් දහස් ගණනක් ඩිස්කෝඩ් වෙත පිවිසියහ. එහිදී, දිවා කාලයේදී රජයක් පෙරළා දැමූ එම ව්‍යාපාරයම රාත්‍රියේදී නව රජයක් ගොඩනැඟීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට පටන්ගත්හ. “මාස හයක් ඇතුළත, අපගේ තරුණයන්ගේ සහ ඉදිරි පරම්පරාවන්ගේ අනාගතය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය සංශෝධන සමග ජාතික මැතිවරණයක් පවත්වනු ඇත,” විරෝධතා පිටුපස සිටින සංවිධානයක් වන හාමි නේපාල් විසින් තැබූ සටහනක විය. “නොවැළැක්විය හැකි බල රික්තයක් වැළැක්වීම සඳහා අවශ්‍ය පියවරක්.” යනුවෙන්ද එහි විය. නේපාලයේ පසුගිය වසර 17 ඇතුළත ආණ්ඩු 15ක් නිර්මාණය වී තිබේ. බලයෙන් පහකෙරුණු අගමැති ශර්මා ඔලි කිහිප විටක්ම අගමැති වී ඇතත් කිසිම විටක ඔහුගේ පූර්ණ ධුර කාලය සම්පූර්ණ කර නැත. එසේ නම් මේ අස්ථාවරත්වය බිඳින්නට නව අගමැතිනියට හැකි වෙයිද? බිරත්නගර් හි උපත ලැබූ 73 හැවිරිදි ඇය ඉන්දියාවේ බනාරස් හින්දු විශ්වවිද්‍යාලයෙන් සහ නේපාලයේ ත්‍රිභුවන් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමෙන් පසු නීති වෘත්තියට පිවිසියාය. ඇය ගැන අසල්වැසි ඉන්දියාව විශේෂ අවුලක් නැත. නේපාලයේ මීළඟ මහමැතිවරණය පැවැත්වෙන්නේ ලබන වසරේ මාර්තු 06 වැනිදාය. ඒ දිනය දක්වා රට පාලනය කිරීම මේ අගමැතිනියට භාර වී තිබේ.
නේපාල රජය විසින් ෆේස්බුක්, එක්ස් සහ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26ක් අවහිර කිරීමට කටයුතු කළේ මීට සති දෙකකට පමණ පෙරය. එම නිසා පසුගිය 05 වැනිදා සිට සමාජ මාධ්‍ය වේදිකාවලට ප්‍රවේශ වීමේ දුෂ්කරතා ඇති විය. නේපාල රජය පවසා තිබුණේ තමන් මෙම තහනම ක්‍රියාත්මක කරන්නේ සමාජ මාධ්‍ය තහනමක් ලෙස නොව ඒවා නේපාල නීතියට අනුකූලව ගෙන ඒමට උත්සහ ගැනීමක් බවයි. ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශ සහ මාර්ගගත වංචා මැඬපැවැත්වීම සඳහා සමාජ මාධ්‍ය වේදිකා නියාමනය කළ යුතු බවට කත්මන්ඩු රජය පවසා තිබිණි. එහෙත් පසුගිය සතියේ සඳුදා දිනයේ නේපාලය එකම කෝලාහලයක් වූයේ මේ තහනමට එරෙහිව Z පරම්පරාව ලෙස හඳුන්වා ගන්නා විරෝධතාකරුවන් කත්මණ්ඩුහි නුවර වැටලීම නිසාය. “ඉවසුවා හොඳට ම ඇති” සහ “දූෂණයට තිත” ඇතුළු සටන් පාඨ සහිත පුවරු රැගෙන විරෝධතාකරුවන් වීදි බැස තිබිණි. මේ පිරිස පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට කඩා පැනීමට උත්සහ කරන විට පොලිසිය වෙඩි තබන්නට විය. මේ නිසා විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ගැටුමක් ඇතිවූ අතර එදින පුද්ගලයන් 19 දෙනකු මියගොස් තිබිණි. තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබිණි. 08 වැනිදා පස්වරුවේ නේපාලයේ සන්නිවේදන අමාත්‍ය ප්‍රිත්වි සුබා බීබීසී වෙත පවසා තිබුණේ පොලිසියට අවම බලය යෙදවීමට සිදු වූ බව ය. ඒ සඳහා ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර සහ රබර් උණ්ඩ ප්‍රහාර ඇතුළත් වූ බව සඳහන් කර තිබිණි.
නේපාලය අරාජිකතවයේ උපරිම තත්ත්වයට පත්වූයේ අඟහරුවාදා දිනයේය. රජය සමාජ මාධ්‍ය තහනම ඉවත් කර අගමැති කේ.පී. ශර්මා ඔලි අස්වෙන බව නිවේදනය කරන විට පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ගිනිගෙන දැවෙමින් පැවතිණි. මුළු රටේම බලය විරෝධතාකරුවන් අතර පත්වූ අතර ඔවුන් අතර තුවක්කු ද විය. ඒ අනුව නීතිය වල් වැදී නොහික්මුණු කණ්ඩායම් අතට පත්ව ඇති බව පැහැදිලි විය. රජයේ ගොඩනැඟිලි මෙන්ම පක්ෂ විපක්ෂ සියලු දේශපාලකයන්ගේ දේපළ
ගිනිබත් වන්නට විය. රජය ඇඳිරිනීතිය පැනවුවද එයට හිස නමන කිසිවකු නොවීය. ධුරයෙන් ඉල්ලා අස්වූ අගමැති කේ. පී. ෂර්මා ඔලිගේ භක්තපූර්හි බාලකෝට්හි පිහිටි නිවසට ගිනි තබා විනාශ කරන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යවල පළ කර තිබිණි. ඒ හා සමානව, නේපාල කොංග්‍රස් සභාපති සහ හිටපු අගමැති ෂර් බහදූර් ඩෝබාගේ බුධානිල්කන්තා ප්‍රදේශයේ පිහිටි නිවසට විරෝධතාකරුවන් විසින් ගිනි තබන ලදී. නේපාලයේ බලය අතට ගත් නොහික්මුණු තරුණ ප්‍රජාව සම්බන්ධ වූ රාජ්‍ය විරෝධී විරෝධතා පාලනයෙන් තොර වීමත් සමග නේපාලයේ හිටපු අගමැති ජලනාත් ඛනාල්ගේ නිවසට ගිනි තැබීම හේතුවෙන් ඔහුගේ බිරිඳ වන රාජ්‍යලක්ෂ්මි චිත්‍රකාර්, පිලිස්සී මියගොස් තිබීම කනගාටුදායකය. මේ සමබන්ධයෙන් නේපාල මාධ්‍ය ආයතනයක් වන කබාර් හබ් වාර්තා කර තිබුණේ, මැර පිරිසක් චිත්‍රකාර් නිවස තුළ සිරකර පහර දී, ගොඩනැඟිල්ලට ගිනි තැබූ බවත් ඇය අසාධ්‍ය තත්ත්වයේ පසුව ඇති අතර ප්‍රතිකාර අතරතුර මියගිය බවත්ය. කත්මන්ඩු නුවර පුරාම වෛරය පැතිරෙන්නට විය. අඟහරුවාදා දිනයේ විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට ඇතුළු වන ස්ථානයේ ගිනි මැලයක් වටා නටමින් සහ සටන් පාඨ කියමින් සිටි අතර, බොහෝ දෙනෙක් අත නේපාල ධජය විය. 09 වැනිදා රාත්‍රියේ හමුදාව බැරැක්කවලින් එළියට පැමිණි අතර සියලු දෙනාට නිවෙස් වෙත යන්නට අණ කරන ලදී. බදාදා පෙරවරුව වන විට රට පුරා සාමකාමී වාතාවරණය පැතිරිණි. නමුත් රට පුරාම පැවතියේ අවිශ්වාසදායක හැඟීමකි. මේ කලහකාරීන් විසින් බන්ධනාගාර බිඳීම නිසා පැනගිය සිරකරුවන් ප්‍රමාණය දහහතර දහසකි. මේ නිසා නගර වැසියෝ අනාරක්ෂිත වී සිටිති. එසේම ජෙන්සි පරම්පරාව පවසන්නේ මෙවන් විනාශයක් වෙතයි තමන් බලාපොරොත්තු නොවූ බවය. එසේ නම් ඒ පිටුපස ඉන්නේ කවුද?
ඉන්දීය මාධ්‍ය මේ අරගලය පිටුපස ඇමෙරිකාවේ සී.අයි.ඒ. සංවිධානය සිටින බවට නිරන්තරයෙන් හඬ නඟයි. ඔවුන් බියෙන් සිටින්නේ මෙවැනි කැරැල්ලක් නරේන්ද්‍ර මෝදි ආණ්ඩුවට එරෙහිව ඇති වීමට ඉඩ ඇති නිසාය. කවරක් නමුත් සමන්තා පවර් 2022 දී නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා යූඑස්ඒඩ් වෙතින් ඩොලර් මිලියන හැටක් ලබා දී තිබේ. ඇත්තෙන්ම නව අගමැති තේරූ ඇප් එකද ඇමෙරිකාවේ නිෂ්පාදිතයකි. කෙහෙල්බද්දර පද්මේ ලංකාවට රැගෙන එන විට ඉන්දුනීසියාවේ තරුණ අරගලයක් ඇතිව තිබිණි. ඒ අරගලයේ ආදර්ශ නේපාලයේ දක්නට ලැබිණි. ඉන්දුනීසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ ඩොලර් මිලියන 40ක් වෙන් කර තිබිණි. ඇමෙරිකානු පාර රාජ්‍යය (Deep State) විසින් ලොව පුරා ආණ්ඩු 60ක් වෙනස් කර ඇති බව රහසක් නොවේ. ඉන්දියාව බයවී සිටින්නේ මේ කැරැල්ල දිල්ලිය කරා එයිද නැද්ද කියාය. නමුත් ඉන්දියාවත් දකුණු ආසියාවේ ආණ්ඩු අස්ථාවර කිරීමට කොපමණ නැටුම් නටන්නේද? නමුත් ඉදිරි කාලය දකුණු ආසියාවට තරමක් අවිනිශ්චිත කාලයකි. තරුණ පරම්පරාව තම ඉල්ලීම් දිනා ගැනීමට සටන් කරද්දී වඩා ප්‍රජාතන්ත්‍රවාදී විය යුතු සේම අරාජිකත්වයට ඉඩ දිය යුතු නැත. එහි ප්‍රතිපල නේපාලය දැන් අත්දකී.
● චතුර පමුණුව
Saru FM Media