ඓතිහාසික පැරිස් කොමියුනයට වසර 155ක් සැපිරේ ! – Saru News | සිංහල

0
4

1871 මාර්තු 18 වන දිනට වසර 155කට පෙර සිදු වූ පැරිස් කොමියුනයේ ආරම්භය සනිහුටන් කරමින් ප්‍රංශයේ විවිධ ප්‍රදේශ වල සැමරුම් උත්සව සංවිධානය කරන බව වාර්තා වේ. විශේෂයෙන් පසුගිය 22දා පැවති පළාත් පාලන මැතිවරණයෙන් ප්‍රංශ සමාජවාදී පක්ෂය පැරිස් නගර සභාව රැක ගැනීමට සමත් වීමත්, විපක්ෂයේ වැඩි බලයක් LFI වාමාංශික පෙරමුණ ජයගැනීමත් සමග මෙම උත්සව වඩා උනන්දුවෙන් සිදු කිරීමට පැරීසියේ කම්කරු ජනතාව සුදානම් වන බව වාර්තා වේ. 1871 මාර්තු 18 වන දා සිට දින 72ක් පුරා ප්‍රංශ ජනතාව සහ විදේශයන්ගෙන් පැමිණි විප්ලවවාදීන් එක් වූ පැරිස් කොමියුනය නව ලෝකයක්, වඩාත් සාධාරණ හා සමානාත්මතා සමාජයක් නිර්මාණය කිරීමට අවශ්‍ය අඩිතාලම දැමු බව රහසක් නොවේ.

1871 දී පැරීසියේ ජනතාව නැගී සිටීමට හේතු වූයේ තුන්වෙනි නැපෝලියන් ජර්මනිය සමග ආරම්හ කල යුද්ධයයි. දශක දෙකක් පුරා නැපෝලියන් ගේ බාල කොලුවා ලෙස සුප්‍රකට ප්‍රංශ ලේඛක වික්ටර් හියුගෝ හැඳින් වූ තුන්වෙනි නැපෝලියන් අධිරාජ්‍යවාදී බලවතෙකු බවට පත් වී ප්‍රංශය හා ජනතාව පීඩාවට පත් කළේය: III වන නැපෝලියන්ගේ බලය කෙමෙන් ජනතා අප්‍රසාදයට ලක් වී ඔහුගේ පාලන කාලය අවසානය වන විට ඔහු මිලිටරිවාදයට ඉන්ධන සැපයූ අතර, වර්ධනය වන සමාජ කෝපය වෙනතකට යොමු කිරීම සඳහා ප්‍රුෂියාව හෙවත් වර්තමාන ජර්මනිය සමඟ ගැටුමක් ඇති කර ගත්තේය.

මේ වන විට ප්‍රෂියාව හි රාජ්‍ය නායක ඔටෝ වොන් බිස්මාර්ක් විසින් මෙහෙයවන ලද ඔහු, ජර්මානු ජනතාව පොදු සතුරෙකුට එරෙහිව එක්සත් කිරීම සඳහා ප්‍රංශයට එරෙහිව යුද්ධයක් සොයමින් සිටියේය. අවසානයේ එම ගැටුම 1870 ජූලි මාසයේදී යුද්ධයක් ලෙස පුපුරා ගිය අතර ප්‍රංශ හමුදා ඉක්මනින් පරාජයට පත් වූ අතර තුන්වෙනි නැපෝලියන් අධිරාජ්‍යයා පවා ජර්මනිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ජර්මන් හමුදා සැප්තැම්බර් මාසයේදී පැරිස් අවට ප්‍රදේශය වටලනු ලැබීය, ප්‍රංශය යටත් විය, අධිරාජ්‍යය බිඳ වැටුණු අතර යලිත් ප්‍රංශ ජනරජය 1870 සැප්තැම්බර් මාසයේදී ජනතාව විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම නව ජනරජය මෙහෙයවනු ලැබුවේ තාවකාලික රජයේ ප්‍රධානියා ලෙස ඇඩොල්ෆ් තියර්ස් විසිනි. ප්‍රතිගාමී රාජාණ්ඩුවාදී  ධනේශ්වරයෙකු හා දුෂකයෙකු වූ ඔහු පැරීසියේ විප්ලවීය ජනතාව කෙරෙහි අවිශ්වාසය පල කළේය. ප්‍රෂියාවට හෙවත් ප්‍රංශයේ එයතිහාසික සතුරා ලෙස සැලකෙන ජර්මනියට යටත් වීමෙන් තම මව්බිම පාවා දුන් බව ජනතාවට හැඟුණි; ඔවුන් කුසගින්නෙන් හා කෝපයෙන් වෙව්ලමින් සිටියහ. සියල්ලටත් වඩා, ඔවුන් පෙර දශක කිහිපය තුළ ප්‍රංශය අර්බුධයට ගිය අවස්ථාවන්හිදී පාලක පන්තියට එරෙහිව නිතර කැරැලි ගැසූ ජනතාවක් වූ අතර සහ රාජාණ්ඩු පාලන පෙරලා දමමින් 1789, 1830, 1848 දී ඕනෑම අසීරු කොන්දේසි තුල ඔවුන්ගේ විප්ලවීය භාවිතාව පෙන්නුම් කල ජනතාවක් විණි. 19 වන සියවස පුරාම පැරිසිය හා එහි ජනතාව විප්ලවයන්ගේ අගනුවර ලෙස සැලකිණි.

පැරීසියේ වෙසෙන ජනතාවගේ නැගිටීම වැළැක්වීම සඳහා, 1871 මාර්තු 17-18 රාත්‍රියේදී එහි ස්ථානගත කර තිබූ කාලතුවක්කු ඉවත් කිරීමෙන් පැරිස් නිරායුධ කිරීමට ඇන්ඩොල්ෆ් තියර්ස් නියෝග කළේය. මෙම කාලතුවක්කු පැරීසියේ Ménilmontant, Belleville, les Buttes Chaumont හා la butte Montmartre කඳු මුදුන්වල ගබඩා කර තිබුණි. යුද්ධය සහ වටලෑම අතරතුර මහජන දායකත්වයන් හරහා පැරිසියානුවන් විසින් එම අවි වලට මුදල් ගෙවා කම්කරු පන්තියේ තදාසන්න ප්‍රදේශවල ගබඩා කර තිබිණි. මෙම ආයුධ පාලනය කරනු ලැබුවේ ප්‍රධාන වශයෙන් පැරිසියානුවන්ගෙන් සමන්විත දේශීය සන්නද්ධ හමුදාවක් වන ජාතික ආරක්ෂක බළකාය විසිනි, ඔවුන් විප්ලවීය කමිටු තුලට සංවිධානය වී එහි නිලධාරීන් තෝරා පත් කර ගන්නා ලදී.

1871 මාර්තු 18 වන දින උදෑසන, පැරිස් කොමියුනය ඇවිලවූයේ මෙම ගිනි පුපුරයි. මොන්ට්මාට්‍රේ හි, පැරිසියේ ජනතාව ඇඩොල්ෆ් තියර්ස් විසින් එවන ලද සොල්දාදුවන් තම නගරය ආරක්ෂා කිරීමට අදහස් කරන කාලතුවක්කු ලබා ගැනීමෙන් වැළැක්වූහ. එහිදී, ආශ්චර්යයක් සිදු විය: වර්සයිල් නිලධාරීන් බහුතරයක් වූ මෙම කාන්තා විරෝධතාකරුවන් මරා දැමීමට නියෝග කළ නමුත් ප්‍රංශ හමුදා වෙඩි තැබුවේ නැත. සොල්දාදුවන් තම රයිෆල් පහත් කර ජනතාව සමඟ සහෝදරත්වයෙන් පොදු හතුරාට එරෙහිව එකතු වූහ. සමූලඝාතනයක් සිදු කිරීමට සූදානම් වෙමින් සිටි ප්‍රංශ හමුදාවේ ජෙනරාල්වරුන් දෙදෙනෙකු සිරගත කර මරා දමන ලදී.

 රාත්‍රිය උදාවන විට පැරීසියේ නගර ශාලාවේ පැරිස් කමිටුවේ විප්ලවීය මධ්‍යම කමිටුවක් ස්ථාපිත විය. කොමියුනයේ විප්ලවීය ජනරජය ප්‍රකාශයට පත් කෙරිණි. ලේ වැගිරීමකින් තොරව රජය පෙරලා දමන ලදී. ගොඩනැගිල්ලට ඉහළින් රතු කොඩිය ලෙළ දුන්නේය. ධනේශ්වර රජය පැරිසියෙන් පලා ගිය අතර, පැරණි රජවරුන් මෙන්, කැළඹිලි සහිත පැරිස් අගනගරයෙන් බොහෝ දුරස්ව ධනවතුන්ගේ බලකොටුව ලෙස සැලකෙන වර්සයිල්ස් හි රැකවරණය ලබා ගත්තේය. එතැන් සිට ඔවුන් කොමියුනයට එරෙහිව කඳවුරු බැඳගත්හ. ජර්මනියෙන් හමුදා ආරක්ෂාව ඉල්ලා සිටියහ. ඔවුන් පසුපස හඹා ගොස් පලවා හැරීමට හා ඔවුන්ගේ බැංකු ජනසතු කිරීමට පැරිස් කොමියුනය පියවරක් නොගැනීම බරපතල වරදක් විණි.

කොමියුනය මැයි මස 28 අවසානය දක්වා පැවතිණි. දින 72 ක කාලය තුල එය ලෝක ඉතිහාසයේ ඉතිහාසයේ දැවැන්ත සලකුණක් තැබීමට සමත් විණි. කොමියුනයේ ආරක්ෂාව සඳහා ජනතා හමුදාවක් නිර්මාණය කිරීම සහ වෘත්තීය හමුදාව අහෝසි කිරීම, මේ දක්වා නොගෙවූ ගෙවල් කුලි අවලංගු කිරීම, ජනතාව මුලා කරන වංචනිකයන්ට හා තැරැව්කරුවන්ට දඬුවම් කිරීම, පල්ලිය සහ රාජ්‍යය වෙන් කිරීම, ආගමික ආයතන සඳහා මුදල් ලබා දීම ඉවත් කිරීම, වැඩි වැටුප් ලබා ගැනීම සීමා කිරීම, පැය 10 ක වැඩ දිනයක් නියම කිරීම – බේකරිකරුවන්ට, කාන්තාවන්ට, ළමුන්ට රාත්‍රී වැඩ කිරීම සහ වැටුප් අඩු කිරීම් තහනම් කිරීම, මැතිවරණයෙන් පත්වන මන්ත්‍රීවරුන් හා නියෝජිතයින් නැවත කැඳවීම අනිවාර්ය කිරීම, අතහැර දැමූ කර්මාන්ත, වැඩබිම් ජනසතු කර ඒවා කම්කරු කමිටු වලට භාර දීම, නිදහස් හා ලෞකික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම, නිවාස නොමැති අයට නවාතැන් ගැනීම සඳහා නගරයේ ධනපතියන්ට අයත් හිස් නිවාස ලබා දීම වැනි ප්‍රගතිශීලි කාර්යයන් රාශියක් සිදු කරනු ලැබිණි. එසේම පිරිමින්ට සහ කාන්තාවන්ට සමාන වැටුප් ක්‍රමයක් ස්ථාපිත කරමින් ගැහුණු හා පිරිමි අතර අසමානාත්මතාවය අවසන් කරනු ලැබිණි.

කොමියුනය විසින් ලබා දුන් මෙම සියළු අයිතිවාසිකම් අදටත් අඩු වැඩි වශයෙන් ප්‍රංශය තම ජනතාවට ලබා දී ඇත.

 කොමියුනයේ ආරක්ෂාව සඳහා කාන්තාවන් සටන් පෙරමුණට පැමිණියහ, සංවිධානය වූහ, සන්නද්ධ වූහ, ජයග්‍රහණ දිනා ගත්හ. ළමා හා කාන්තාවන් සඳහා කාන්තා සංගම් නිර්මාණය කළහ. පිරිමින් හා සමානව ඍජුව හා නිර්භීතව සටනට සහභාගී වී ආඩම්බරයෙන් සටන් කළ මේ සියලු විමුක්තිදායක කාන්තාවන්ව ධනේශ්වර මාධ්‍ය විසින් යක්ෂාවේශ වූ බිල්ලෙකු ලෙස හඳුන්වා දුන්හ. ගොඩනැගිලි ගිනි තබා විනාශ කරන අරුත් ඇති “පෙට්‍රෝලියම්” කඩාකප්පල් කාරිනියන් ලෙස හැඳින් වූහ.

රජයේ සහ ධනේශ්වරයේ ම්ලේච්ඡත්වය කොමියුනයේ නිර්භීතකමට සහ ධෛර්යයට සමාන ලෙස අභියෝග කළේය. ඇහැට ඇහැක් දතට දතක් ලෙස මර්දනයට මුහුණ දීමට කොමියුනය හා ජනතාව පෙරමුණ ගත්හ. එය රාජ්‍ය අනුමැතිය ලත් පළිගැනීමක් විය. මැයි 21වන දින, ඩුකැටෙල් නම් පොලිස් තොරතුරු සපයන්නෙකු ලෙස කොමියුනය තුලට රිංගා සිටි ද්‍රෝහියෙකු, අනාරක්ෂිත දොරටුවක් හරහා පැරිසියට ඇතුළු වන ලෙස වර්සයිල්ස් හමුදාවට සංඥාවක් ලබා දුන්නේය.

දීර්ඝ කාලයක් ප්‍රංශ හා ජර්මන් වල වටලෑම හේතුවෙන් කුසගින්නෙන් සහ බෝම්බ හෙලීම් වලින් හෙම්බත් වී සිටි පැරිස් නගරය ආරක්ෂා කරමින් සිටි ජාතික ආරක්ෂක බළකාය ඒ අනුව එහි අවසන් සටනට පිවිසියේය. ලේ වැකි සතිය ආරම්භ විය. නගරය නැවත අත්පත් කර ගැනීම සඳහා යොදවා ඇති වර්සයිල්ස් සොල්දාදුවන් 130,000 ට මුහුණ දෙමින්, කොමියුනයේ සාමාජික සාමාජිකයින් 25,000 ත් 30,000 ත් අතර සංඛ්‍යාවක් සටනට පිවිසියහ. පැරිස් නගරය බාධකවලින් වැසී තිබුණි. සාමාන්‍ය ජනතාව තම අසල්වැසි ප්‍රදේශ, ඔවුන්ගේ දිස්ත්‍රික්ක, ඔවුන්ගේ වීදි සන්නද්ධ කමිටු මගින් ආරක්ෂා කළහ. ජර්මනියේ බිස්මාක් සිර කර සිටි ප්‍රංශ හමුදා සාමාජිකයින් ලක්ෂයක් නිදහස් කර කොමියුනය මර්දනය කිරීම සඳහා සහය ලබා දුන්නේය.

කාන්තාවන් දාහක බළඇණියක් සමග කොමියුනයේ දීප්තිමත් කාන්තාවන් වූ Louise Michel හා රුසියානු විප්ලවවාදියෙක් වූ Elizabeth Dmitrieff  ආයුධවලින් සන්නද්ධව පැරීසියේ 18 වැනි කලාපයේ බාධක පිටුපස ස්ථාන ගත වූහ.

මැයි 23 වන දින පැරිසියේ Montmartre දිස්ත්‍රික්කය බිඳ වැටුණි. ජර්මන් සහය ලැබූ ප්‍රංශ වර්සයිල්ස් හමුදා විසින් පිරිමින්, කාන්තාවන් සහ ළමයින්, සටන්කරුවන් සහ නිරායුධ සිවිල් වැසියන් සමූලඝාතනය කළහ. කම්කරු පන්තියේ ප්‍රථම ආණ්ඩුව වූ පැරිස් කොමියුනය සමූලඝාතනය කිරීමෙන් ජනගහනය “පවිත්‍ර කිරීම” ඔවුන්ගේ අරමුණ විය. මාර්ග රතු පැහැයෙන් තෙත් විණි : පැරීසියේ නගර ශාලාව, අධිකරණ ශාලා, ටියුලරී මාළිගාව, පැරිසියේ රාජකීය මාලිගාව, පල්ලි ගිනිබත් විය. කෘර මර්දනයට එරෙහිව රජයේ ගොඩනැගිලි, පොලිසී ද ජනතාව විසින් ගිනිබත් කරන ලදී. ඊළඟ දිනවලදී, උද්‍යානවල, බැරැක්කවල, මිදුල්වල වෙඩි තැබීම් වලින් යටත් වූ හා තුවාල ලැබූ කොමියුනයේ සාමාජික සාමාජිකයින් බුරුතු පිටින් මරා දැමීම් සිදු විය. වර්සයිල්ස් හමුදා විසින් 50000කට වැඩි ජනතාවක් මරා දමන ලදී. තුවාල ලැබූවන් ගිලන් රථවලින් රැගෙන යන අවස්ථා වලදී පවා ඝාතනය කරන ලදී. මැයි 28 වන දින, බෙල්විල් හි දී අවසන් සටන් සිදු වූ අතර කොමියුනයේ අවසාන ආරක්ෂක බාධකය ද කඩා වැටුණි.

1871 මැයි 27 වන දින නැගෙනහිර පැරිසියේ තිබෙන සුප්‍රකට Père Lachaise සුසාන භූමියේ ගේට්ටුව අසල සිට පසු බසින කොමියුනයේ සාමාජිකයින්ට වර්සයිල්ස් හමුදා කාලතුවක්කු වලින් වෙඩි තැබූහ. සොහොන ඇතුළත දී කොමියුනයේ ශ්‍රේෂ්ට වීරයින් 200 ක් සොහොන් කුළුණු අතර යමින්, වසන් වෙමින් මරණය දක්වා සටන් කළහ. අවසානයේ සුසාන භූමියේ සුප්‍රකට අවසන් පවුරට(MUR DES FEDERES) තබා කොමියුනිස්ට්වරු 147 දෙනෙකුට වෙඩි තබා මරා දමනු ලැබිණි.

මෙම හමුදා මර්දනය සතියක් තුළ ජීවිත 50000කට අධික සංඛ්‍යාවක් බිලිගනු ලැබිණි. එය නගර සීමාව තුළ පැරිස් ඉතිහාසයේ සිදු වූ විශාලතම සංහාරය විය. වින්දිතයින් අතර සාමාන්‍ය පැරිසියේ ජනතාව පමණක් නොව, ජනතා නැගිටීමට සහාය දැක්වීමට පැමිණි විදේශීය විප්ලවවාදීන් ද විය. 46,835 දෙනෙකු සිරකරුවන් ලෙස අත්අඩංගුවට පත් වූ අතර, දහස් ගණනක් දෙනා ලෝකයේ වෙනත් ප්‍රංශ යටත් විජිත වල පිහිටුවා තිබු දණ්ඩනීය ජනපදවලට පිටුවහල් කරන ලදී. නිර්නාමික පාවාදීම් දස දහස් ගණනක් වාර්තා විය. ඇතැම් සිර කරුවන් කිසිදු නඩු විභාගයක් නොමැතිව ද මරා දමන ලදී.

ප්‍රතිගාමී තියර් ගේ රජය “කොමියුනයට එරෙහිව සිදු කල තිරස්ථින අපරාධවලට සමාව” ලබා ගැනීම සඳහා Sacré Cœur පල්ලිය පැරීසියේ ඉදි කළේය. ජනතා නියෝජිතයින් නැවත කැඳවීමේ බලය තහනම් කරන වගන්තියක් අදටත් 1958 දී ඩිගොල් විසින් සම්පාදනය කල ව්‍යවස්ථාවේ 27 වන වගන්තියෙන් තහවුරු කර ඇත්තේ ජර්මනියේ, ස්විස්ටර්ලන්තයේ හා ඇමරිකාවේ පවා එය පිළිගෙන ක්‍රියාත්මක වන තත්වයක් තුලය.

ඔවුන් කොමියුනය චප්ප කරමින් සිදුකල මහා ජනතා සංහාරය නිවා වසා දැමීමට උත්සාහ කළ ද එය තවමත් දැල්වෙමින් තිබේ. පසුකාලීනව ප්‍රංශයේ සියළු ධනපති, ෆැසිස්ට් විරෝධී අරගල වල මුදුන් මල්කඩ බවට පත් වූයේ පැරිස් කොමියුනය වේ. 1940-45 නාසි විරෝධී දේශප්‍රේමී ජාතික සන්නද්ධ ව්‍යාපාරය(CNR),1968 මැයි මාසයේ ශිෂ්‍ය අරගලය, 1995 සමස්ථ මහා වැඩ වර්ජනය, 2019 කහ කබා අරගලය එයින් සමහරක් වේ. රුසියානු, චීන, කියුබා වියට්නාම විප්ලව වල සිට ඇමරිකාවේ සියැටල් -සිරියාවේ රොජාවා සිට 1994 මෙක්ෂිකොවේ චියාපාස්, 2022 ශ්‍රී ලංකාවේ අරගලය දක්වා සෑම ජනතා නැගිටීමක් තුලම පැරිස් කොමියුනයේ දෝංකාරය නැවත නැවතත් මතු වේ.

පැරිස් කොමියුනයට වසර 155ක් පිරෙන මෙම වසරේ පැරිස් කොමියුනය සම්බන්ධයෙන් ප්‍රදර්ශණ, රැස්වීම්, දේශණ රාශියක් වසර පුරා වාමාංශික පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන විසින් සංවිධානය කර ඇත. ඊයේ මාර්තු 22 ප්‍රංශයේ පැවත් වූ පළාත්පාලන, නගර සභා මැතිවරණයේදී වාමාංශික ව්‍යාපාරය පැරීසිය ඇතුළු රටේ වැදගත් නගර සභා රාශියක් තුල ජයග්‍රහණ දිනා ගැනීමට ද සමත් වී ඇත. පැරිස් කොමියුනය තුලින් ලබා දුන් ජනතා නියෝජිතයින් නැවත කැඳවීමේ බලය යලි ස්ථාපිත කරන බවට LFI නව වාම පෙරමුණ තව දුරටත් ප්‍රතිඥා දී ඇත. ලබන 2027 වසර ප්‍රංශයට මැතිවරණ වසරක් වන අතර එය වාමාංශික ව්‍යාපාරයටද තීරණාත්මක වසරක් වනු ඇතැයි ඊයේ පැවත් වූ පළාත් පාලන මැතිවරණය විශේලේෂණය කරන දේශපාලන විශ්ලේෂකයින් මේ අතර පෙන්වා දේ.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here