නිව්යෝර්ක් නුවර ලාගාඩියා ‘LaGuardia’ ගුවන් තොටුපොල වෙත ගොඩබස්වන ලද එයාර් කැනඩා එක්ස්ප්‍රස් යානයක් සහ ගුවන් තොටුපොළ ගිනි නිවන රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ගුවන් නියමුවා සහ සහාය නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම අනතුරින් පුද්ගලයින් 41 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර ඉන් 39 දෙනෙකු ගුවන් යානයේ සිටි මගීන් වන අතර අනෙක් දෙදෙනා ගිනි නිවන රථයේ සිටි නිලධාරීන් බව සඳහන් වේ.
ජෑස් ඒවියේෂන් සමාගම මගින් ක්‍රියාත්මක කරන ලද මෙම එයාර් කැනඩා 8646 දරන යානය මොන්ට්‍රියල් සිට පැමිණ ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි පුද්ගලයන් 70 දෙනෙකු සිට ඇත.
යුනයිටඩ් එයාර්ලයින්ස් යානයක ඇති වූ හදිසි තත්ත්වයකට ප්‍රතිචාර දැක්වීම සඳහා ගිනි නිවන රථය ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව ඇත.
එයාර් කැනඩා යානය ගොඩබස්වා පැයට සැතපුම් 24ක වේගයෙන් මන්දගාමී වෙමින් තිබියදී මෙම ගිනි නිවන රථය සමඟ ගැටී ඇති බව වාර්තා වේ.
අනතුරත් සමඟ ලාගාඩියා ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.
මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ගොඩබෑමේ මාවතේ යානයක් තිබියදී ගිනි නිවන රථයකට එතැනට පැමිණියේ කෙසේ ද යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බව සඳහන් වේ.
ගුවන් පාලක මැදිරිය විසින් ගිනි නිවන රථය නැවැත්වීමට උත්සාහ කර ඇති බවට හඬ පට මගින් අනාවරණය වී ඇති අතර, සන්නිවේදන දෝෂයක් මෙම දරුණු අනතුරට හේතු වන්නට ඇතැයි සැක කෙරේ.
(පෙර පුවත 2026 මාර්තු 23 ප.ව.3:08)
එයාර් කැනඩා මගී ගුවන් යානයක් අමෙරිකාවේදි අනතුරකට ලක්වේ
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ලාගාඩියා ගුවන් තොටුපොළට ගොඩබෑ එයාර් කැනඩා එක්ස්ප්‍රස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් අනතුරට ලක්විය.
ඒ, ගුවන් පථයේ නවත්වා තිබූ ආධාරක ට්‍රක් රථයක ගැටීමෙනි.
කැනඩාවේ මොන්ට්‍රියල් සිට පැමිණි මෙම CRJ-900 වර්ගයේ මගී යානයට, ආධාරක ට්‍රක් රථයේ ගැටීමෙන් හානි සිදුවිය.
යානයේ සිටි දෙදෙනෙකු තුවාල ලැබූ බව වාර්තා විය. යානයේ සිටි මගීන් ගණන 76 කි. කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන 4 කි.
අනතුරත් සමග ගුවන් තොටුපොළ බලධාරීන් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගැණුනි.
අනතුර හේතුවෙන් ගුවන්තොටුපොළට පැමිණීමට නියමිතව තිබූ තවත් ගුවන් යානා කීපයක් වෙනත් ගුවන් තොටුපොළවල් වෙත හරවා යැවුණු බව පැවසෙයි.
Saru News
















