පිඹුර හා නැටුව අවුරුදු කුමාරි අත්අඩංගුවට; චන්දිමාල්ගෙන් කටඋත්තර ගන්න නියෝග

0
5

ප්‍රසිද්ධ රූපලාවන්‍ය  ශිල්පියකු වන චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කරන ලද අවුරුදු කුමරා හා කුමරිය තේරීමේ උත්සවයකදී පිඹුරකු කරේ දමාගෙන නර්තනයේ නියැලි අවුරුදු කුමරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඩි.ජේ. ප්‍රේමරත්න මහත්මිය වනජීවී දෙපාර්තමේන්තුවට (23) නියෝග කළාය.

එසේම, අදාළ තරඟය සංවිධානය කළ රූපලාවන්‍යය ශිල්පී චන්දිමාල් ජයසිංහගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට වනජීවී නිලධාරීන්ට අවසර ලබාදීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

වන ජීවි දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව නෙත්මි හිරන්යා නමැති සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මෙම වරෙන්තුව නිකුත් කළාය.

වනජීවි දෙපාර්තමේන්තුවේ කොළඹ වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරීවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ ආරක්ෂිත සත්වයකු ලෙස නම් කර ඇති  පිඹුරෙකු කරේ දමාගෙන හිංසා කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් අදාළ තැනැත්තිය සැකකාරියක ලෙස නම් කළ බවය. 

සැකකාරියට වනජීවී කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට නියෝග කොට ඇතත් සැකකාරිය එම ප්‍රකාශය ලබා දීම මග හරින බව ද පැවසීය.

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ මෙසේද පැවසුහ.

කොළඹ කුරුඳුවත්ත රෝයල් මාස් එරීනා නමැති පරිශ්‍රයේ සිදු කරන ලදැයි කියන මෙම අවුරුදු උත්සවයේදී සැකකාරිය විසින් පිඹුරකු කරේ දමාගෙන නර්තනයේ නියැලී තිබෙනවා.

වනජීවි වෘක්ෂලතා ආඥා පනත යටතේ මෙය දඩුවම් ලැබිය යුතු වරදක් බැවින් අදාළ සැකකාරියට කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට දන්වා ඇතත් මේ වනතෙක් ඊට ප්‍රතිචාර දක්වා නැහැ. 

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ වරෙන්තු නියෝග නිකුත් කරමින්  සැකකරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය. 

තරඟ සංවිධායක රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ නැමැති අයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටද අවසර ලබා දුන්නේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here