අන්තිම ඝාතනයට ලක්‍ෂ 5ක් ලැබිලා – අගෝස්තුවේ පමණක් කුලී මිනිස් ඝාතන 4ක් කරලා

0
7

පැන ගිය යුද සෙබළා සියඹලාණ්ඩුවෙන් අල්ලයි

අම්පාර සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සැඟවී සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් පාතාල කුලී මිනිස් ඝාතකයා ඝාතන සිදු කිරීමෙන් පසු ලැබුණු මුදල් අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා ද යොදාගෙන ඇති බව පසුගිය අගෝස්තු මාසයේ පමණක් මොහු විසින් මිනිස් ඝාතන හතරක් සිදුකර ඇති බවත් පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

පානදුරේ කුඩු සලිඳු දෙහි බාලේ පවුලේ සහ තවත් පාතාල කල්ලි නායකයන් කීප දෙනකුගේ කුලී මිනිස් ඝාතන සිදුකර ඇත්තේ මෙම අපරාධකරු විසින් බව විමර්ශනවලදී හෙළි වී ඇත.

ඉකුත් අගෝස්තු මස 07 වැනිදා බොරැල්ල සිරිසඳ සෙවන නිවාස සංකීර්ණය ඉදිරිපිට දී තරුණයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් තිදෙනකුට බරපතළ තුවාල සිදු කර තිබුණේ මෙම කුලී මිනිස් ඝාතකයා විසින් බව හෙළි වී ඇත. එම මාසයේම 21 දා බණ්ඩාරගම දී හිටපු බන්ධනාගාර නිලධාරියකු වූ ලලිත් කෝදාගොඩ මෝටර් රථයක යමින් සිටියදී යතුරුපැදියකින් ලුහුබැඳ ගොස් ටී පනස්හය අවියකින් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේද මෙම කුලී මිනිස් ඝාතකයා විසින් බව පොලිසිය අනාවරණය කර ගෙන ඇත.

එම මාසයේම විසිහත් වැනිදා පානදුර දකුණ ප්‍රදේශයේදී කුඩු නිලංග නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මාමණ්ඩියගේ හිසට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ ද මෙම කුලී මිනිස් ඝාතකයා බව පොලිසිය පවසයි.

මෙම ඝාතන හතරට අමතරව තවත් මිනිස් ඝාතන රැසක් මොහු විසින් සිදු කර ඇති බව පොලිසිය පවසයි. ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් දැඩි ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බවද ආරංචි මාර්ග කියා සිටී. පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අම්පාර කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදී අම්පාර සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සැඟවී සිටියදී මෙම කුලී මිනිස් ඝාතකයා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

ඉකුත් 2015 වර්ෂයේදී යුද හමුදාවෙන් පලා ගිය මෙම සෙබළා පසුව පාතාල කල්ලි සාමාජිකයන් සමග සමීප සබඳතා පවත්වමින් මිනිස් ඝාතන ඇතුළු විවිධ අපරාධවල නිරත වී ඇත. පානදුරේ කුඩු සලිඳු සහ දෙහිබාලේ පවුලේ පාතාල කල්ලි සමග සමීප සබඳතා පැවැත්වූ මෙම කුලී මිනිස් ඝාතකයා ඔවුන්ට අවශ්‍ය මිනීමැරුම් රැසක් සිදුකර ඇති බවද පොලිසිය පවසයි. මෙම පාතාල කුලී මිනිස් ඝාතකයා මේ වන විට දමන පොලිසියේ රඳවාගෙන සිටී.

අධිකරණ නියෝගයක් ලබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු කොළඹ විශේෂ විමර්ශන ඒකකයකට භාරදීමට නියමිත බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන් සිල්වා මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වේ.
හේමන්ත රන්දුණු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here