කොළඹට ආ මෝදිට ඉන්දියානුවන්ගෙන් උණුසුම් පිළිගැනීමක් – රූකඩ සංදර්ශනයකුත් නරඹලා (ඡායාරූප)

0
21


කොළඹ ඉන්දීය ප්‍රජාවේ දර්ශනීය පිළිගැනීමට තම හදවත ගැඹුරින් ස්පර්ශ කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

සිය නිල එක්ස් ගිණුමට විශේෂ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබෙනවා.

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අග්‍රාමාත්‍ය මෝදි ඊයේ (04) රාත්‍රියේ කොළඹ ඉන්දීය ප්‍රජාව හමුවුණා.

මේ අතර ප්‍රජා පිළිගැනීමේ උත්සවය අතරතුර මහා පුරුෂ ශ්‍රීමන්ත සංකර්දෙව් තුමා, ශ්‍රී ශ්‍රී මධාබ්දෙව් තුමා, සංගීතය පිළිබඳ පොත්, ඉන්දීය කතාන්දර සහ පාලි ගීත ගෝවින්දයේ සිතුවිලිවල පරිවර්තනයන් ද තමාට දැකබලා ගැනීමට හැකි වූ බවයි ඔහු නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් පවසා ඇත්තේ.

දිවයිනට පැමිණි මෝදි අග්‍රාමාත්‍යවරයා සුන්දර් කාන්ද් හි කොටස් නිරූපණය කරමින් පැවති රූකඩ සංදර්ශනයක් නැරඹීමට ද ඊයේ (04) රාත්‍රියේ එක්ව තිබෙනවා.

එහිදී නලින් ගම්වාරි සහ ශ්‍රී අනුර රූකඩ කණ්ඩායමේ තමන් දුටු උද්යෝගය සහ ජවය අගය කරන බවයි මෝදි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම නිල සංචාරයේ නිරත වන අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරට සංචාරයක නිරත වන සිව්වන අවස්ථාව මෙයයි.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ නිල උත්සවය අද (05) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here