මෙම අර්බුදය තුළදීද අත්‍යවශ්‍ය සේවා, රාජ්‍ය සේවා හා කර්මාන්ත අඛණ්ඩ ව පවත්වා ගැනීම රජයේ අරමුණ බවත් ජනතා සුබසාධන වෙනුවෙන් ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට සහය වන ලෙස විපක්ෂයෙන්ද ඉල්ලා සිටින බවත් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
එහිදී ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධා ක්‍රිෂ්ණන් මතුකළ ප්‍රශ්නයට පිළිතුරු ලෙස මලයගම් ප්‍රජාවගේ අධ්‍යාපනය තුළ ගැටලු ගණනාවක් පවතින බවත් ගුරු පුරප්පාඩු ඒ අතර විශේෂ බවත් හඳුනාගෙන ඇතැයි පැවසුවාය. ඒ අතරින් අධිකරණ තීන්දුව ප්‍රකාරව ගුරු පුරප්පාඩු සදහා 23,000කට වැඩි ප්‍රමාණයක් බදවාගන්නා බවද සදහන් කළාය. අධ්‍යාපන අමාත්‍යාංශයේ දිස්ත්‍රික් ගැටලු පිළිබඳ සාකච්ඡාවල දී එම කරුණු මතුකර කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරන බවද ඇය පැවසුවාය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය,
මූලික වශයෙන් රටේ වර්තමාන තත්වය හා අපට රටක් වශයෙන් මුහුණදීමට ඇති ගැටලු පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ගෝලීය වසංගතයකින් පසු ආර්ථික අර්බුදයකට මුහුණ දී දේශපාලන අර්බුදයකට ද අනතුරුව නැවත වතාවක් හුස්ම ගැනීමට පටන් ගත් අවස්ථාවක මෙම වර්තමාන තත්වය උද්ගත වී තිබෙනවා. එහිදී වගකිව යුතු විපක්ෂයක කාර්යභාරය පිළිබදව ඔවුන් ගැඹුරින් කල්පනා කළ යුතුයි. අවාසනාවකට විපක්ෂ මන්ත්‍රීවරුන් බලය ලබාගැනීම අරමුණු කරමින් ආණ්ඩුව පෙරලීමේ නිරර්ථක උත්සාහයක නිරත වෙමින් සිටිනවා. ආණ්ඩුවේ නොහැකියාවන් හා රාජ්‍යතාන්ත්‍රික බවෙහි ව්‍යාජ දුර්වලතා මවා පාමින් ජනතාව තුළ අනවශ්‍ය බියක් ජනිත කිරීම ඔවුන් අඛණ්ඩව සිදුකරමින් සිටිනවා.
ප්රජාතන්ත්රවාදී මැතිවරණ ක්‍රමය හරහා ප්‍රතිපත්ති ඉදිරිපත් කර ජනතා විශ්වාසය දිනාගන්නවා වෙනුවට, රට විනාශ මුඛයට ඇදී ගියද කෙසේ හෝ බලය උදුරා ගැනීමේ උත්සාහයක විපක්ෂය නිරත වෙනවා. රට බංකොලොත් භාවයට පත් කළ සහ ආර්ථිකය අස්ථාවර කළ පාර්ශ්වයන්ම, ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාගත් ආණ්ඩුව පෙරළා දැමීමට කුමන්ත්‍රණය කරන්නේ පසුගිය පාලන කාලයන්හි එල්ල වූ චෝදනා සහ විමර්ශනවලින් ගැලවීමට බව පැහැදිලියි.
තත්වය පාලනය කරනු වෙනුවට අර්බුදය උත්සන්න කිරීමට විපක්ෂය මාන බලන බවා. ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ පටු දේශපාලන න්‍යාය පත්‍ර නිසා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට පවා හානි වන අන්දමේ ප්‍රකාශ නිකුත් කරනවා.
නැවත බලය අවශ්‍ය නම් ප්රජාතන්ත්රවාදී මාවත ඔස්සේ මැතිවරණ තුළින් ජනතාව ඉදිරියේ විශ්වාසය දිනාගෙන බලය ලබාගැනීම කලයුතුයි. ඇතිවී තිබෙන ඉන්ධන අර්බුදය ආණ්ඩුවේ නොහැකියාව බව පෙන්වීමේ නිරර්ථක උත්සාහයක නිරත නොවිය යුතුයි. වත්මන් ඉන්ධන අර්බුදය ලොව පුරා පවතින යුදමය වාතාවරණයේ ප්‍රතිඵලයක්. එය ආණ්ඩුවේ නොහැකියාවක් ලෙස පෙන්වීමට උත්සාහ කිරීම නිරර්ථකයි. මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වී දින 20ක් වැනි කෙටි කාලයක් තුළ රජය නිවැරදි තීන්දු තීරණ රැසක් ගත්තා. ඒ හේතුවෙන් දකුණු ආසියාවේ ඉන්ධන මිල අඩුවෙන්ම සංශෝධනය වූ රට බවට ලංකාව පත් වුනා.
තෙල් සැපයුමේ යම් අඩුවීමක් ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි බව සත්‍යයකි. එබැවින් ඉන්ධන පරිභෝජනය කළමනාකරණය සඳහා QR කේත ක්‍රමය හඳුන්වා දුන්නා. එම ක්‍රමය තවදුරටත් විධිමත් කරමින් අක්‍රමිකතා අවම කිරීමට කටයුතු කරනවා. මෙම අර්බුදය හමුවේ වුවද අත්‍යවශ්‍ය සේවා, රාජ්‍ය සේවා හා කර්මාන්ත අඛණ්ඩව පවත්වා ගැනීම අපගේ අරමුණයි. ජනතා සුබසාධනය වෙනුවෙන් අප ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට සහය වන ලෙස විපක්ෂයෙන්ද ඉල්ලා සිටිනවා.” යැයි පැවසුවාය.
3
Saru News
















