කොළඹ LNW:ජාතික ආර්ථිකයේ උරුමය තහවුරු කරගත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ඒ, අද (04) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී පැවති අලුත් සහල් මංගල්‍ය උත්සවයට එක්වෙමිනි.
ගොවිජනතාව මුහුණ දෙමින් සිටින ඉඩම් ප්‍රශ්නය, බීජ ප්‍රශ්නය මෙන්ම වෙළෙඳපොළ විකෘතිය නිවැරදි කරගැනීම වෙනුවෙන් රාජ්‍යයේ නිසි මැදිහත්වීම සිදුකිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා එහිදී පැවසුවේ.
”අපිට අතහරින්න බැරි යුතුකමක් සහ වගකීමක් තිබෙනවා අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන මාවතක් බවට කෘෂිකර්මාන්තය පත්කරගන්න. නායක හාමුදුරුවන් වහන්සේ පෙන්වා දුන් පරිදි අද කෘෂිකර්මාන්තයෙන් තෘප්තිමත්භාවයට පත්වෙන්නේ කවුද?ගොවිජනතාව තමන් නෙළා ගන්න අස්වැන්න විකුණලා තමන්ට කවර ජීවිතයක්ද උරුම වී තිබෙන්නේ. මොකද අපි කෘෂිකර්මාන්තයේ හිටපු අය. අපි ගොවි අම්මා,අප්පලාගේ දරුවෝ. අපිට මතකයි අපි අස්වැන්න නෙළලා වී ටික ගෙනාවට පස්සේ ගෙදර ගෙවල්වල ඉඩක් නැහැ වී කඳු ගහන්න. නමුත් අපි වී ගෝනි තියල වී ගෝනි උඩ රැට නිදාගෙන තිබෙනවා. ඒ දුක්ඛ දෝමනස්සයන් පිළිබඳ හොඳ අවබෝධයක් ඒ ජනතාවගේ ජීවිතත් එක්ක සමීප අත්දැකීම් තිබෙනවා. ඒ නිසා මේ රටේ ගොවි ජනතාවටත් කෘෂි කර්මාන්තයටත් අනාගතය පිළිබඳ විශ්වාසයක් තබපු සංවර්ධනයක් අපේක්ෂා කළ හැකි වන්නේ අපෙන්ම පමණයි කියල මා විශ්වස කරනවා.අපි මේ සියල්ල විසඳීම සඳහා උත්සහ දරමින් ඉන්නවා. වාරිමාර්ග ක්ෂේත්‍රයේ අනෙකුත් සුළු හා මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මම හිතන්නේ වාරි මාර්ග ක්ෂේත්‍රයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිලියන 7000කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් අපි වෙන්කරලා තිබෙනවා.
ගොවිජනතාව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ඉඩමේ හිමිකම පිළිබඳ ප්‍රශ්නය. විවිධ කාලවල,විවිධ වුවමනාවන් මත විවිධ වර්ගයේ දීමනා පත්‍ර,විවිධ වර්ගයේ ඔප්පු ලබා දී තිබෙනවා. ඒ නිසා අපි යළි ඉතා හොඳ සමීක්ෂණයක් කරලා ගොවි ජනතාවට තමන්ගේ ඉඩම බැහැර කරන්න යම් බාධාවන් ඇතිකරමින් බලපත්‍රයක් ලබාදෙන්න අපි ලෑස්තියි. මොකද අපි විශ්වාස කරනවා මේ රටේ ඉඩම් තියෙන්න ඕනේ මේ රටේ ගොවි ජනතාව අත. ගොවිජනතාවගේ අයිතියෙන් ඉඩම් බැහැර වෙන විදිහට නෙවෙයි ගොවි ජනතාවගේ දුවාදරුවන්ට අනාගතයේ ඉඩම්වල හිමිකම ආරක්ෂා වෙන විදිහට බලපත්‍ර හදුන්වා දීමට අපි කටයුතු කරනවා ඉඩම් පනත්වල තිබෙන වගන්තිවලට අනුරූප වෙන පරිදි.
අපේ ගොවිජනතාවට ලබාදෙන බීජ වල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා යළි අපි අපේ ජානවල අයිතිය ආරක්ෂා කරගනිමින් අපිටම වූ ස්වයං බීජ නිෂ්පාදනයකට අවතීර්ණ විය යුතුව තිබෙනවා. බීජවලින් ස්වයං පෝෂිත රාජ්‍යයක් බවට මේ රාජ්‍ය පරිවර්තනය කළ යුතුයි. වී සහ සහල් වෙළෙඳපොලේ ඇතිව තිබෙන තත්ත්වය තමයි ඉතා කුඩා කණ්ඩායමක් විසින් අපේ වෙළෙඳපොල විකෘතිභාවය ඇතිකරලා තිබෙනවා. ඒ නිසා වෙළෙඳපොළ සඳහා රාජ්‍ය මැදිහත්වීමට අපි අපේක්ෂා කරනවා. කෘෂිකර්මාන්තය, ඒ හා නියැලෙන ජනතාව ඊට අවශ්‍ය වෙන රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය ඒ සඳහා තිබෙන අපේ සංස්කෘතික හර පද්ධති මේ සියල්ල ඒකාබද්ධව අපිට අපේ ජාතික ආර්ථිකයේ යළි උරුමය අත්පත්කරගත හැකියි කියන දැඩි විශ්වාසයකින් යුතුව අපි මේ ගමන ආරම්භ කරලා තිබෙනවා.” යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
ආශිකා බ්‍රාහ්මණ
Saru FM Media