ප්‍රියංකාට සහ ශමින්ද්‍රට මොනවද කළේ ?.. – Saru News | සිංහල

0
8

එයාර් බස් ගනුදෙනුවේ වංචාවට අදාළව කපිල චන්ද්‍රසේන, ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියොමාලි විජේනායක සහ ශමින්ද්‍ර රාජපක්ෂ අතර කෙරුණු මූල්‍ය හුවමාරු පිළිබඳව 2020 වසර වන විටත් බොහෝ තොරතුරු හෙළිවී තිබිණි.

ඒ වනවිට කර තිබූ පරීක්ෂණ අනුව මුදල් විශුද්ධි කරණය සහ අල්ලස් හා දූෂණ චෝදනා මත කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් නඩු පවරා තිබිණි. කපිල චන්ද්‍රසේන විසින් මේ වනවිට හෙලි කරමින් තිබෙන තොරතුරු අනුව රාජපක්ෂ පවුල බෙහෙවින් කැලඹීමට ලක් වී ඇත.

මෙම මූල්‍ය වංචාවේ ඉතිහාසය සහ වර්තමාන අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව බීබීසී සිංහල වෙබ් අඩවිය පළකර තිබූ සවිස්තර වාර්තාව සම්පූර්ණයෙන්ම උපුටා ගෙන පහත දැක්වේ.

එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම අද (මාර්තු 19 වැනිදා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඊට අමතරව අදාළ මුදල් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වන ශමින්ද්‍ර රාජපක්ෂගේ ගිණුමටත් යොමුවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කළේය.

ඒ අනුව 2015 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක් බෙලිඅත්ත නිවසේ සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂට ලබාදුන් බවට සැකකරු විසින් ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2013 වසරේ සිට 2016 දක්වා කාලසීමාවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී සිදු වී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිලි දෙකක් මත විමර්ශන ආරම්භ කළ බව සඳහන් කළේය.

2019 වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට අදාළව සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල නීතිපතිවරයාගේ උපදෙස් මත අල්ලස් කොමිසමට යොමු කර ඇති බව ඔහු පැවසීය.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ බව කී එම නිලධාරියා අදාළ විමර්ශනවලදී 2013 වසරේ ප්‍රංශ එයාර් බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී මෙම සැකකරුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක නමැත්තිය නමින් බෘෘනායි රාජ්‍යයේ ලියාපදිංචි සමාගමක සිංගප්පූරුවේ බැංකු ගිණුම්වලට අල්ලස් වශයෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක මුදලක් ලැබී තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වු බවත් එම නිලධාරියා සඳහන් කළේය.

ඉන් පසුව එම මුදල් සැකකරුගේ බිරිඳගේ ගිණුමේ සිට සැකකරුගේ ඕස්ට්‍රේලියාවේ කොමන්වෙල්ත් බැංකුවට අවස්ථා හතරකදී ලැබී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෙම සැකකරු අල්ලස් කොමිසමට කැඳවීමට කටයුතු කළ බවත් එම නිලධාරියා කියා සිටියේය.

“ස්වාමීනි… මෙම ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා කැඳවූ අවස්ථාවේදී මොහු සැකකරුවකු වශයෙන් නම් කර තිබුණේ නෑ. පසුව මේ ප්‍රකාශ සටහන් කර ගත්තේ සැකකරුගේ නීතිඥවරයා වන නීතිඥ උදාර මුහන්දිරම් මහතාගේ පෙනෙන මානයක සිටයි. එක්තරා අවස්ථාවක නීතිඥවරයා විමර්ශන භාරව කටයුතු කළ විමර්ශන නිලධාරී ගාමිණි අබේසිංහ මහතාගෙන් ඉල්ලීමක් කලා. ඒ තමා මේ සිද්ධිය ගැන දන්න සියල්ල ප්‍රකාශ කිරීමට සූදානම් මේ පුද්ගලයාව සාක්ෂිකරුවෙකු ලෙස නම් කරලා සැකකරුවකු වශයෙන් අත්අඩංගුවට නොගන්නවා නම් කියලා. ඊට අදාළව දිවුරුම් ප්‍රකාශයක් සකස් කර තිබෙන බවත් එහි පිටපතක් තමන්ගේ ජංගම දුරකථනයේ තිබෙන බවත් නීතිඥවරයා ප්‍රකාශ කර තිබෙනවා. පසුව නීතිඥවරයා එම දිවුරුම් ප්‍රකාශයේ අත්සන් නොකළ පිටපත වට්ස් ඇප් මාර්ගයෙන් විමර්ශන නිලධාරියාගේ ජංගම දුරකථනයට යවා තිබෙනවා. එදින දහවල් 12.43 ට තමයි එය වට්ස්ඇප් මාර්ගයෙන් යවා තිබෙන්නේ.” එම වට්ස් ඇප් පණිවුඩයේ තිර පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන බවත් විමර්ශන නිලධාරියා සඳහන් කළේය.

whatsapp මාර්ගයෙන් එවූ එම ලේඛනයේ අවසන් ඡේදයේ “ශමින්ද්‍ර රාජපක්ෂ සහ ප්‍රියංකර ජයරත්න යන අය සහ තවත් අය” යනුවෙන් සඳහන් කර තිබෙන බව පෙන්වා දුන් අල්ලස් කොමිසමේ නිලධාරියා එහි සඳහන් තවත් අය කවුද? කියා ප්‍රකාශ කිරීමට සූදානම් බව සැකකරු විසින් ප්‍රකාශ කර තිබෙන බවත් පැවසීය.

පසුව මෙම කරුණු සහකාර අධ්‍යක්ෂ සුමේන්ද්‍ර වෙත දැනුම් දුන් අතර විමර්ශන නිලධාරී අබේසිංහ සැකකරු සමඟ සුමේන්ද්‍ර මහතාගේ කාර්යාලයට ගිය බවත් සඳහන් කළේය.

එහිදී අධ්‍යක්ෂ ජනරල්වරයා හමුවූ අතර “සත්‍ය ප්‍රකාශ කරන ලෙස පමණක්” එහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා සැකකරුට දැනුම් දුන් බවත් ඉන්පසුව ඔහු පිටව බවත් එම නිලධාරියා සඳහන් කළේය.

ඉන්පසුව අදාළ සැකකරු තමා දන්නා සියලු කරුණු ප්‍රකාශ කළ බවත් ඔහු පැවසීය.

එම ප්‍රකාශයේදී අල්ලස් වශයෙන් ලැබුණු මුදල් විවිධ පුද්ගලයින්ට ලබාදුන් ආකාරය සැකකරු සිය ප්‍රකාශයෙන් සඳහන් කළ බවත් අල්ලස් කොමිසම නිලධාරියා විවෘත අධිකරණයේදී කියා සිටියේය.

“ස්වාමීනී.. මේ සැකකරු 2015 වසරේ මාර්තු මස 8 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ඉවත් වෙනවා. ඉන් පසුව මහින්ද රාජපක්ෂ මහතා මොහුගෙන් අදාළ මුදල් ඉල්ලා තිබෙනවා. ඒ අවස්ථාවේදී රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක මුදලක් මේ සැකකරු විසින් මහින්ද රාජපක්ෂ මහතාට බෙලි ඇත්තේ පිහිටි නිවසේදී සහ කාල්ටන් නිවසේදී මුදල් ලබාදුන් බවත් ඔහු ප්‍රකාශ කළා. ඊට අමතරව එවක ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ පියංකර ජයරත්න මහතාට රුපියල් මිලියන විස්සක මුදලක් කොල්ලුපිටියේදී ලබා දුන් බවත් මේ සැකකරු ප්‍රකාශ කර තිබෙනවා. මෙම මුදල් ගෙවීම්වලට අදාළ ලේඛන 41 මේ සැකකරු විසින් විමර්ශන නිලධාරීන්ට ලබා දී තිබෙනවා. පියංකර ජයරත්න මහතාට මුදල් ලබාදීම සම්බන්ධයෙන් සුදම්මික ආටිගල නමැති පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍යයි.” යනුවෙන් අල්ලස් කොමිසමේ නිලධාරියා සඳහන් කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ එම නිලධාරියා මෙම සිද්ධියට අදාළව ප්‍රංශයේ එයාර් බස් සමාගම ඇතුළු ජාත්‍යන්තර ආයතන, විමර්ශනවලට සහාය දක්වා තිබෙන බවත් සැකකරු විසින් විවිධ පුද්ගලයින්ට මුදල් ගෙවා තිබෙන බවටත් ඔහු විසින් ඉදිරිපත් කළ තිබෙන කරුණුවල සත්‍ය අසත්‍යභාවය පිළිබඳව සොයා බැලීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බවත් එම නිලධාරියා පැවසීය.

මෙම නඩුකරයේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින සැකකරුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජයනායක සහ ශමින්ද්‍ර රාජපක්ෂ යන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරියා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඉන් අනතුරුව සැකකාර කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු අත්අඩංගුවට ගත් දින ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත් එදින අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තම සේවා දායකයාට කළ තර්ජනයක් ගැන තමා කොටුව මහේස්ත්‍රාත්වරයා දැනුවත් කළ බවත් පැවසීය.

මහේස්ත්‍රාත්වරයා එය සටහන් කර ගත් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා අවස්ථාවේ ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දිවා ආහාරය සඳහා ගිය අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මෙම තර්ජනය කර තිබෙන බවත් කියා සිටියේ ය.

“කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නඩුවේ යම්කිසි පුද්ගලයෙක් එල්ලිලා මැරුණා. ඒ වගේ එල්ලිලා මැරෙන්න වෙන්නේ කියලයි මගේ සේවා දායකයාට තර්ජනය කරලා තිබෙන්නේ” යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මේ බව දැනුම් දීම සඳහා පසුගිය 13 වැනිදා මෙම අධිකරණයට මෝසමක් ඉදිරිපත් කළ බවත් එය හොර රහසේ කළ කටයුත්තක් නොවන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

“මගේ සේවා දායකයා ඩීජී ගේ කාමරයට අරගෙන ගියේ ඇයි? යමක් දැනගන්න අවශ්‍ය නම් නීතිඥවරයා සමග ඔහුව රැගෙන යන්න තිබුණා. ඒත් මෙතනදි එහෙම කරලා නෑ. සැකකරු ප්‍රකාශ කළ දේවල් වලට වඩා එහා ගිය දෙයක් ඩී.ජීට දැන ගන්න අවශ්‍ය වුණා. ඒ නිසා තමයි මේ තර්ජනය කළේ” යනුවෙන් චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලීමට අදාළ කරුණු මීළඟට ඉදිරිපත් කළේය.

“ස්වාමීනි.. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මගේ සේවා දායකයා 2020 වසරේ සිට ඇප මත මුදා හර තිබෙනවා. ඔහු කිසිදු ආකාරයක සාක්ෂිකරුවන්ට බලපෑමක් කරලා නෑ. විමර්ශන වලට බාධා කරලා නෑ. ඔවුට පනවා තිබූ විදේශ ගමන් තහනම අල්ලස් කොමිසම සම්පූර්ණයෙන්ම ඉවත් කළා. එහෙම කළා කියලා ඔහු රටින් පැනලා ගියේ නෑ. ඔහු කතා කරන හැම අවස්ථාවකම අල්ලස් කොමිසමට ප්‍රකාශ දෙන්න ගියා. විමර්ශනවලට සහාය දීලා තිබෙනවා” එම නිසා මෙම සැකකරු ඇප මත මුදාහරින ලෙසත් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනුජා බණ්ඩාර දැඩි විරෝධය පළ කළාය. “ස්වාමීනි… මේ සැකකරුගේ බිරිඳ සැකකාරියක් වශයෙන් නම් කර තිබෙනවා. ප්‍රකාශ සටහන් කරගන්න කැදවීම් කළත් ඇය මේ දක්වා කොමිසමට ඉදිරිපත් වුණේ නෑ. බෲනායි රාජ්‍යයේ ඇයගේ නමින් ලියාපදිංචි කළ ව්‍යාජ සමාගමක හරහා සේවා සැපයීම සම්බන්ධයෙන් එයාර් බස් සමාගම සමග අත්සන් කළ ව්‍යාජ ගිවිසුම් දෙකක් හරහා තමයි මේ අල්ලස් මුදල් ලබාගෙන තිබෙන්නේ. මේ විමර්ශනයට ප්‍රංශය, ඔස්ට්‍රේලියාව ,සිංගප්පූරුව යනාදී රටවල ආයතනයන් සහාය ලබාදෙන්න එකඟ වී තිබෙනවා. මීට අදාළ ලේඛන රැසකුත් ගෙන්වා ගැනීමට අවශ්‍යයි. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන්නේ එහි ප්‍රධාන පරිපාලන නිලධාරියා. ඔහු භාරයේ තමයි සියලු විමර්ශන සිදුවන්නේ. එදා තිබුණු නීතිය නෙමෙයි අද ක්‍රියාත්මක වන්නේ. නව දූෂණ විරෝධී පනත යටතේ තමයි අද විමර්ශනය කෙරෙන්නේ. එම පනත යටතේ ප්‍රධාන විමර්ශන භාරව කටයුතු කරන නිලධාරියා වන්නේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඒ නිසා මේ සැකකරුට අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තර්ජනය කළ බව කියන කතාව පදනම් විරහිතයි.” යනුවෙන් සඳහන් කළ සහකාර අධ්‍යක්ෂවරිය මෙම සැකකරු විසින් විවිධ පුද්ගලයින්ට මුදල් ලබා දුන් බව කියන කාරණා පිළිබඳව වැඩිදුර විමර්ශන කිරීමට අවශ්‍ය බවත් මෙම අවස්ථාවේදී මොහුට ඇප ප්‍රදානය කළහොත් එම විමර්ශන කටයුතුවලට බාධා සිදු විය හැකි බවත් කියා සිටියේය.

දෙපර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුට 2020 වසරේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප ප්‍රදානය කළ බව විත්තිය විසින් ප්‍රකාශ කළත් එම නඩුකරය මෙම සිද්ධියට හාත්පසින්ම වෙනස් නඩු කටයුත්තක් බව ප්‍රකාශ කළේය.

එම නිසා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම සැකකරුට ඇප ප්‍රදානය කර තිබීම සූවිශේෂි කරුණක් ලෙස සැලකිය නොහැකි බවත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.

මෙම සිද්ධියට අදාලව ගැඹුරු විමර්ශනයක් සිදු කළ යුතු බව අල්ලස් කොමිසම ප්‍රකාශ කර ඇති හෙයින්ද මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුගේ බිරිඳ ප්‍රකාශ ලබාදීම සඳහා මෙතෙක් ඉදිරිපත් වී නැති හෙයින් ද මෙම අවස්ථාවේදී මෙම සැකකරුට ඇප ප්‍රදානය කළහොත් විමර්ශන කටයුතුවලට බලපෑම් සිදුවිය හැකි බව පෙනී යන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

ඒ අනුව මෙම අවස්ථාවේදී සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් ඒ අනුව ඔහු අප්‍රේල් මස 02 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කර සිටියේ ය.

මේ අතර මෙම සිද්ධියේ, සැකකරුවන් වශයෙන් නම් කර සිටින කපිල චන්ද්‍රසේනගේ බිරිඳ සහ ශමීන්ද්‍ර රාජපක්ෂ යන සැකකරුවන් අත්අඩංගුට සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස කළ ඉල්ලීමට අදාළව ලබන 24 වැනිදා සාක්ෂි මෙහෙයවීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට දැනුම් දුන්නේය.

සාක්ෂි මෙහෙයවීමකින් තොරව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළ නොහැකි බවත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී සඳහන් කර සිටියේය.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here