ආර්ථිකය දරාගැනීමේ හැකියාව ඉහළයි… ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර සහතිකයක්… – Saru News | සිංහල

0
6

ලෝකය මුහුණ දෙන බලශක්ති අර්බුදයට සාර්ථකව මුහුණදීමට ශ්‍රී ලංකාවට ශක්තියක් ඇති බව ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච්රේටින්ග්ස් ආයතනය පවසයි.

2022 වසරේ දී රටේ නිර්මාණය වූ බලශක්ති අර්බුදය සහ ඒ මත බැදුනු මිල ගණන් ඉහළ යාම ආර්ථිකයේ අභ්‍යන්තර කළමනාකරණ ගැටලු සහ විදේශ විනිමය හිඟය මත ගොඩනැගුනු කාරණාවක් බවද එම ආයතනය අනාවරණය කරයි.

එහෙත් මේ වනවිට ශ්‍රී ලංකාවේ තත්වය මුළුමනින්ම වෙනස් වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

සමස්තයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනගා ගෙන ඇති ශක්තිමත් ආර්ථික පදනම ගෝලීය බලශක්ති මිල උච්චාවචනයන් හමුවේ ආරක්ෂා වනු ඇති බවත් එම ආයතනය වැඩිදුරටත් අවධාරණය කරයි.

2022 වසරේ අප්‍රේල් මාසයේ දී සීමිත පැහැර හැරීමක් එනම් රෙස්ට්රික්ටඩ් ඩිෆෝල්ට් ලෙස නම් කර තිබු ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 2024 වසරේ දෙසැම්බර් මාසයේ දී CCC+ දක්වා ඉහළ නැංවීමට ෆිච්රේටින්ග්ස් ආයතනය කටයුතු කරනු ලැබීය.

එම ශ්‍රේණිගත කිරීම 2025 ඔක්තෝබර් මාසයේදීද යළි තහවුරු කිරීමට ෆිච්රේටින්ග්ස් ආයතනය කටයුතු කර තිබිණි.

මෙහි ආසියා පැසිෆික් ස්වෛරී ණය ශ්‍රේණිගත කිරිම් පිළිබද ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජෙරමි සූක් ආසියා පැසිෆික් ස්වෛරීත්ව 2026 අතත්‍ය සමුළුව අමතමින් ප්‍රකාශ කර තිබුණේ බලශක්ති මිල ඉහළ යාම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල මෑත කාලීන දියුණුව මන්දගාමි කළ හැකි වුවත් එය 2022 වසරේ මෙන් බරපතළ පහත වැටීමකට හේතු නොවන බවය.

ශ්‍රී ලංකාව බලශක්ති මිල කම්පනයන්ට බෙහෙවින් ගොදුරු විය හැකි රටක් වුවත් මේ අවස්ථාවේ දී රටේ පවතින මූල්‍ය විනය හා කළමනාකරණය එම කම්පනයන්ට ශක්තිමත්ව මුහුණදීමට අවස්ථාව සලසා දෙනු ඇති බව ජෙරමි සූක් පවසයි.

ප්‍රාථමික ගිණුමෙහි අතිරික්තයක් පැවතීමද එම තත්වයට පිටිවහලක් වී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ස්ථාවරත්වය කෙරෙහි දක්වන අවධානය හේතුවෙන් මෙම තත්වය කළමනාකරණයට ශක්තියක් ලැබී ඇති බව ඔහු තවදුරටත් පෙන්වා දෙයි.

දැඩි පරිශ්‍රමයකින් ලබාගත් ජයග්‍රහණ මෙන්ම සාර්ව ආර්ථික ගැලපුම් හේතුවෙන් 2022 වසරට වඩා හොද සුදානමක් මේ වනවිට ශ්‍රී ලංකාව සතු වන බව ඔහු සඳහන් කරයි.

තවද දැනට පවතින ජංගම ගිණුමේ යහපත් තත්වය බාහිර කම්පනවලට එරෙහිව යම් ආවරණයක් සපයන බවද ෆිච්රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙයි.

බලශක්ති මිල ඉහළ යාම දීර්ඝ කාලයක් පැවතුන හොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන සාකච්ඡාවල දී යම් නම්‍යශිලි භාවයක් අපේක්ෂා කළ හැකි බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

සමස්තයක් ලෙස විවිධ වු අවිනිශ්චිතතාවන් පැවතියද ශ්‍රී ලංකාව ගොඩනගා ගෙන ඇති ශක්තිමත් පදනම ගෝලීය බලශක්ති මිල ඇතුලු තත්වයන් හමුවේ ආරක්ෂාවක් වනු ඇතැයි ෆිච්රේටින්ග්ස් ආයතනය තවදුරටත් සඳහන් කරයි.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here