සෞඛ්‍ය සම්පන්න සබඳතා කියන්නේ සැනසීම, සහයෝගය සහ ඔබේ මානසික වර්ධනය සහ යහපැවැත් උදා කර දෙන බැඳීම්ය.කෙසේ වුවත් ඔබේ සහකරු විෂ සහිත එහෙමත් නැත්තම් toxic හැසිරීම් පෙන්වන විට ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවයේ බිඳී යාම ආරම්භ විය හැකිය. විෂ සහිත සහකරුවෙකු නිරන්තරයෙන්ම අනෙකාව විවේචනය කිරීමට, හැසිරවීමට, පාලනය කිරීමට හෝ මනසේ සාමයට බලපාන නිෂේධාත්මක බවක් ඇති කරනවා.ඒ නිසා විෂ සහිත සහකරුවෙකුට මුහුණ දීම කිසිසේත්ම පහසු කාරණාවක් වන්නේ නැහැ.මෙවැනි හැසිරීමක් ඉදිරියේ ඔබ ඔබගේ හැඟීම් සහ මානසිකත්වය ආරක්ෂා කර ගන්නේ කෙසේද යනුවෙන් තේරුම් ගැනීම මගින් ඔබට ඔබෙන් ගිලිහෙන ශක්තිය සහ මානසික ඒකාග්‍රතාවය නැවත ලබා ගැනීමට උපකාරී වනවා.
විෂ සහිත හැසිරීමේ සලකුණු හඳුනා ගැනීම
විෂ සහිත සහකරුවෙකුට මුහුණ දීමේ පළමු පියවර වන්නේ සංඥා හඳුනා ගැනීමයි. විෂ සහිත හැසිරීම් නිරන්තරයෙන් දොස් පැවරීම, ඊර්ෂ්‍යාව, හැසිරවීම, අගෞරව කිරීම හෝ චිත්තවේගීය පාලනය වැනි විවිධ ආකාරවලින් දිස්විය හැකිය. සමහර සහකරුවන් ඔබ නොකළ දේවල් සඳහා ඔබට වරදකාරි හැඟීමක් ඇති කිරීමට හෝ ඔබේ හැඟීම් නොවැදගත් ලෙස බැහැර කිරීමට උත්සාහ කිරීම කළ හැකියි.
මෙම රටා නිතර නිතර පුනරාවර්තනය වන විට, ඒවා ඔබේ විශ්වාසයට සහ චිත්තවේගීය යහපැවැත්මට සෙමෙන් හානි කරනවා. මෙවැනි හැසිරීම් ඔබට අහිතකර බව පිළිගැනීම ඔබව ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ ගන්නා වැදගත් පියවරක්.
ඔබටම දොස් පැවරීම නවත්වන්න
විෂ සහිත සබඳතාවල සිටින පුද්ගලයින් බොහෝ විට සියල්ල ඔවුන්ගේ වරදක් බව විශ්වාස කිරීමට පටන් ගන්නවා. විෂ සහිත සහකරුවෙකු හිතාමතාම විවේචනය කිරීමෙන් හෝ දොස් පැවරීමෙන් මෙම විශ්වාසය අනෙකා තුළ නිර්මාණය කරනවා. කාලයත් සමඟ, මෙය ඔබේම වටිනාකම පිළිබඳව ඔබ තුළම සැකයක් ඇති වීමට හේතු වනවා.
ඒ නිසා මෙහිදී වෙනත් කෙනෙකුගේ හානිකර හැසිරීම් සඳහා ඔබ වගකිව යුතු නොවන බව ඔබටම මතක් කර ගැනීම වැදගත් වනවා අතර සෞඛ්‍ය සම්පන්න සබඳතාවලට අන්‍යෝන්‍ය ගෞරවය, සන්නිවේදනය සහ අවබෝධය ඇතුළත් වන බව ඔබ අවබෝධ කරගත යුතුය . ඔබේ සහකරු තුළ එම ගුණාංග නොමැති නම්, ඔබේ සමඳතාවය තුළ ඒවා රැකැනීමට අනෙකාගෙන් සහයෝගයක් නොලැබෙනවා නම් , එය ඔබේ අසාර්ථකත්වය නොවේ.
පැහැදිලි චිත්තවේගීය සීමාවන් සකසන්න
විෂ සහිත හැසිරීම් සමඟ කටයුතු කිරීමේදී සීමාවන් අත්‍යවශ්‍ය වනවා. මෙයින් අදහස් කරන්නේ සම්බන්ධතාවයකදී ඔබ පිළිගන්නේ කුමක්ද සහ නොකරන්නේ කුමක්ද යන්න ඔබ විසින් තීරණය කිරීමයි. නිදසුනක් වශයෙන්, අගෞරවනීය භාෂාව, හැසිරවීම හෝ නිරන්තර විවේචන පිළිගත නොහැකි බව ඔබට ඔබේ සහකරු වෙත සන්සුන්ව ප්‍රකාශ කළ හැකිය.
ඔබේ විෂ සහිත සහකරු තත්වයන් පාලනය කිරීමට පුරුදු වී සිටී නම් සීමාවන් නියම කිරීමට ඔබට මුලදී අපහසුතාවයක් දැනිය හැකිය. පැහැදිලි සීමාවන් ඔබේ චිත්තවේගීය සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සහ ඔබේ පෞද්ගලික වටිනාකම ඔබට මතක් කර දීමට උපකාරී වන නිසා මේ සීමාවන් තේරුම් ගැනීම සහ ඒවා ආරක්ෂා කර ගැනීම වැදගත් වන්නේ ඔබටමයි.
ඔබේ මානසික සහ චිත්තවේගීය සෞඛ්‍යය ආරක්ෂා කරන්න
දිගු කලක් සෘණාත්මක බව වටා සිටීම ආතතිය, කාංසාව සහ චිත්තවේගීය වෙහෙසට හේතු විය හැක. ස්වයං රැකවරණය අතිශයින් වැදගත් වන්නේ එබැවිනි. එවැනි අවස්ථාවන් වලදී දිනපොත් ලිවීම, කියවීම, ව්‍යායාම කිරීම හෝ විශ්වාසවන්ත මිතුරන් සමඟ කතා කිරීම වැනි ඔබේ මනස සන්සුන් කරන ක්‍රියාකාරකම් කිරීමට කාලය ගත කරන්න.
සම්බන්ධතාවය ඔබේ යහපැවැත්මට බලපාන්නේ නම්, උපදේශකයෙකු හෝ මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු සමඟ කතා කිරීම ගැනද ඔබට සලකා බැලිය හැකියි. වෘත්තීය මඟ පෙන්වීම ඔබේ හැඟීම් තේරුම් ගැනීමට සහ සෞඛ්‍ය සම්පන්න තීරණ ගැනීමට ඔබට උපකාරී වනවා.
අවංකව සන්නිවේදනය කරන්න
එසේ කිරීම ආරක්ෂිත යැයි හැඟේ නම්, ඔබේ සහකරුගේ හැසිරීම ඔබට බලපාන ආකාරය ප්‍රකාශ කිරීමට උත්සාහ කරන්න. ඒ සඳහා සන්සුන් හා අවංක සන්නිවේදනය භාවිතා කරන්න. නිදසුනක් වශයෙන්, දොස් පැවරීමෙන් ආරම්භ කිරීමට වඩා, “මගේ හැඟීම් ප්‍රතික්ෂේප කරන විට මට රිදෙනවා” යැයි ඔබට පැවසිය හැකිය.
කෙසේ වෙතත්, සන්නිවේදනය ක්‍රියාත්මක වන්නේ දෙදෙනාම සවන් දීමට සහ වෙනස් වීමට කැමති විට පමණක් බව මතක තබා ගන්න. විෂ සහිත සහකරු ගැටලුව පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, එය ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවය තුළ ඉදිරියේදී ඇතිවිය හැකි ගැඹුරු ගැටළු පිළිබඳව ඔබට කෙරෙන අනතුරු ඇඟවීමක් ලෙස සලකන්න.
ඉවත් විය යුත්තේ කවදා කෙසේ දැයි දැන ගන්න
සමහර විට සෞඛ්‍ය සම්පන්න තේරීම වන්නේ දුරස්ථභාවය ඇති කිරීම හෝ සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම අත්හැරීමයි. හැඟීම් සහ මතකයන් සම්බන්ධ වූ විට මෙම තීරණය දුෂ්කර විය හැකියි. නමුත් ඔබේ චිත්තවේගීය ආරක්ෂාව සහ පෞද්ගලික වර්ධනය සැමවිටම ප්‍රධාන තැනක් ගන්නා බව ඔබ මතක තබාගත යුතුය.
විෂ සහිත සම්බන්ධතාවයක් අත්හැරීම දුර්වලතාවයේ ලකුණක් නොවේ. එය ආත්ම ගෞරවය සහ ධෛර්යයේ ලකුණකි.
ඔබේ සුව කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න
විෂ සහිත සහකරුවෙකුට මුහුණ දීමෙන් හෝ එවැන්නෙකුගෙන් ඉවත්වීමෙන් පසු, සුව කිරීම ඊළඟ වැදගත් පියවර බවට පත් වනවා . ඉන් පසුව විශ්වාසය සහ චිත්තවේගීය සමතුලිතතාවය නැවත ගොඩනඟා ගැනීමට ඔබ ඔබටම කාලය දෙන්න. ඔබට ගරු කරන සහ අගය කරන සහාය දක්වන පුද්ගලයින් සමඟ ඔබ එක්වන්න.
ස්වයං කරුණාව ප්‍රගුණ කිරීම, ඔබේ හැඟීම් දිනපොතක සටහන් කිරීම සහ පුද්ගලික ඉලක්ක කෙරෙහි අවධානය යොමු කිරීම ඔබට ඔබෙන් ගිලිහී ගිය ශක්තිය නැවත ලබා ගැනීමට උපකාරී වනවා. කාලයත් සමඟ, ඔබ ඔබේ ස්වාධීනත්වය සහ ආත්ම වටිනාකම නැවත සොයා ගැනීමට පටන් ගන්නවා.
විෂ සහිත සහකරුවෙකුට මුහුණ දීම සඳහා ධෛර්යය, ස්වයං දැනුවත්භාවය සහ චිත්තවේගීය ශක්තිය අවශ්‍ය වනවා. සෞඛ්‍ය සම්පන්න නොවන හැසිරීම් හඳුනා ගැනීමෙන්, සීමාවන් නියම කිරීමෙන් සහ ඔබේ මානසික යහපැවැත්මට ප්‍රමුඛත්වය දීමෙන්, ඔබට ඇතිවිය හැකි දිගුකාලීන චිත්තවේගීය හානිවලින් ඔබව ආරක්ෂා කර ගත හැකිය.
සබඳතා ඔබව ඉහළට ඔසවා තබනවා මිස ඔබව බිඳ දැමිය යුතු නොවේ. ඒ නිසා ඔබ ඔබේ ජීවිතයේ ගෞරවය, සාමය සහ අව්‍යාජ ආදරය ලැබිය යුතු බව සැමවිටම මතක තබා ගන්න.
Saru News
















