බාල ගල් අඟුරු නිසා තෙල් ලීටර් කෝටි 7ක් වැඩිපුර වැය කරන්න වෙලා!

0
3

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිත කිරීම නිසා සිදුව ඇති විදුලි ජනන පාඩුව පියවා ගැනීමට ඉදිරි දිනවලදී ඉන්ධන ලීටර් කෝටි හතක් වැඩිපුර වැය කිරීමට සිදුවන බව හිටපු විදුලි බල හා බලශක්ති ඇමති පාඨලී චම්පික රණවක මහතා විසින් හෙළිකර තිබේ.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ, විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ අවසන් සැසි වාරයේදී චම්පික මහතා ඊයේ (18) සිය අදහස් පළකරමින් මේ බව කියා සිටියේය.

මෙම ඉන්ධන ප්‍රමාණය ප්‍රවාහන ක්ෂේත්‍රයේ දින විසි පහක අවශ්‍යතාව බවද ඔහු එහිදී කීය.

2026 දෙවන කාර්තුව සඳහා විදුලිය ගාස්තු සියයට 13.56 කින් වැඩි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම පසුගිය මාර්තු 07 වැනිදා ආරම්භ වූයේ නැගෙනහිර පළාතෙනි.

සියලුම පළාත් නියෝජනය කරමින් සැසි පැවැති අතර එහි අවසන් සැසිය ඊයේ (18) පැවැත්විණි.

මෙම මහජන අදහස් විමසීමෙන් පසුව සති දෙකක කාලයක් මෙම අදහස් සමාලෝචනය කර දත්ත මත පදනම්ව 2026 දෙවැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයට මහජන උපයෝගිතා කොමිෂන් සභාව එළැඹෙනු ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here