ගුරුවරු සහ විදුහල්පතිවරුන්ට පමණක් නීතිපති නීතිය නවයි? 

0
4

ඉසුරු පරාක්‍රම

මාර්තු 17, කොළඹ (LNW): ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව මඟින් සෑම පුරවැසියකුටම නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාවක් තහවුරු කර ඇති බව සිහිපත් කරමින්, ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන වෛද්‍ය තුෂර වික්‍රමනායක මහත්මිය විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් වෙත ආමන්ත්‍රණය කරමින් ඇය මෙම කරුණු දක්වා ඇත.

දණ්ඩ නීති සංග්‍රහයේ 308අ වගන්තියට අනුව ළමා කෘරත්වය යනු ශාරීරික සහ මානසික හිංසා/දඬුවම් යන දෙකටම අදාළ වන බව සිහිපත්කර සිටින වෛද්‍යතුමිය,  පාසල් ගුරුවරයකුට එදිරිව එම පාසලේ සිසුවකුට ශාරීරික දඬුවම් පමුණුවා හිංසා කර ඇති බවට පැමිණිල්ලක් ගොනුකර ඇති අවස්ථාවක දී, වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රථම නීතිපතිවරයා වෙත දැනුම් දීමක් සිදුකළ යුතු වන්නේ මන්ද යන්න ප්‍රශ්නකර සිටියි.

2009 අගෝස්තු 07 වන දින නීතිපතිවරයා විසින් ශ්‍රී ලංකා පොලිසිය වෙත නිකුත් කරන ලද චක්‍රලේඛයක් පිළිබඳව දැඩි අවධානයක් යොමුකරන ඒ මහත්මිය, එම චක්‍රලේඛයට අනුව, “දඬුවම සිදුකර ඇත්තේ පාසල් ගුරුවරයකු විසින් සිසුවකුට එදිරිව පාසල් වේලාව තුළ දී සහ එම දරුවාට සිදුවී ඇති තුවාල බරපතල නොවන තුවාල පමණක් වන්නේ නම්,” ශාරීරික දඬුවම් සිදු කරන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අත්අඩංගුවට නොගන්නා ලෙස උපදෙස් දී ඇති බව පෙන්වා දෙන්නීය.

මෙය නීතිය එක හා සමානව ක්‍රියාත්මක නොවීමක් ලෙස හඳුන්වන වෛද්‍ය වික්‍රමනායක මහත්මිය, “එතකොට නීතිපති දරුවට සිදුවන මානසික හිංසනය බලන්නේ දිවැසින්ද? නැත්තම් මැජික් පහනකින්ද?” යන්න ප්‍රශ්න කර සිටියි.

අවුරුදු ගණනාවක් මුළුල්ලේ නඩු ඇදෙමින් උපදෙස් ලබා නොදීම මඟින් අදාළ ගුරුවරුන්ට තවදුරටත් හිංසා කිරීමට නිදහස ලැබෙන බවත්, වෙනත් කිසිදු වෘත්තියකට ලබා නොදෙන විශේෂත්වයක් ගුරුවරුන්ට පමණක් ලබා දෙන්නේ මන්දැයි ඇය ප්‍රශ්න කර සිටියි.

රටක නීති සම්පාදකයාට ඉහළින් හෝ අධිකරණයට ඉහළින් නීතිපතිට තමන්ගෙ වැඩ අඩු කරගැනීමේ චේතනාවෙන් චක්‍රලේඛ වලින් නීතිය නැවීමට නොහැකි බව පවසන ඇය, “දරුවාගෙ උපරිම යහපත” නොසලකා කටයුතු කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව අවධාරණය කර සිටියි.

එමෙන්ම දරුවන්ට අසාධාරණයක්වන මෙම චක්‍රලේඛය වහාම හකුලා ගන්නා ලෙස ඇය වගකිවයුත්තන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

The post ගුරුවරු සහ විදුහල්පතිවරුන්ට පමණක් නීතිපති නීතිය නවයි?  appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here