අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි – අගමැති – Saru News | සිංහල

0
2

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් ඇතුළු කිසිවකුගේ බලපෑමක් නොමැතිව නිදහස් ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය සියලු අවකාශ ගොඩනැගීම රජයේ අරමුණ බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අද (17) පාර්ලිමේන්තුවේ දී කියා සිටියා ය.

දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තිකයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරීම සම්බන්ධ අතුරු යෝජනා සම්මතය පිළිබඳ විවාදයේ දී අදහස් දක්වමින් අගමැති මේ බව ප්‍රකාශ කරන ලදී.

මෙහි දී අදහස් දැක්වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය,

“ගරු කතානායක තුමනි, අද ඉදිරිපත් වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තිකයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරිමේ යෝජනාව ඉතාමත්ම වැදගත් සහ ඓතිහාසික යෝජනාවක් ලෙස මම සලකනවා.

2023 වසරේ දූෂණ විරෝධී පනත සම්මත වුණත් ඒ සම්බන්ධ කොමිෂන් සභාවක් තියෙනවා කියලා අපිට දැනෙන්න පටන්ගත්තේ 2025 වසරේ සිට.

එතැන් පටන් මේ කොමිෂන් සභාව ක්‍රියාත්මක කිරීමේ දි ප්‍රශ්න ගණනාවකට මුහුණදීමට අපට සිදුවුණා. විශේෂයෙන් ම  නිලධාරීන් බඳවා ගැනීමට තිබුණු සීමාවන් වැනි කාරණා නිසා  කොමිෂන් සභාවට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වීමේ බාධක අභියෝග ගණනාවක් තිබුණා. ඔවුන්ට ක්‍රියාත්මක වීමේ දී තමන්ගේ කාර්‍ය මණ්ඩලයේ දීමනා තීරණය කර ගැනීමේ නිදහස , ක්‍රියාත්මක වීමට අවශ්‍ය නීති හා රෙගුලාසි නිර්ණය කිරීමේ නිදහස, නිලධාරීන් බදවා ගැනීමේ නිදහස,  ඔවුන්ගේ වාර්ශික සැලැස්මට අදාළ ප්‍රතිපාදන ඇස්තමේන්තු  ඉදිරිපත් කිරිම, මෙවැනි  ප්‍රායෝගික තත්ත්වයන්  සහ කොන්දේසි ගණනාවක් ඇති කළ යුතුව තිබුණා. කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල් තුමා පත්වෙනවිට කොමිෂන් සභාව තුළ විමර්ශන අවසන් කර නඩු නොපැවරුණු ලිපි ගොනු 4000කට අධික ප්‍රමාණයක් තිබුණා. ඒ වගේම නීති නිලධාරීන් සිටියේ 31ක් පමණයි.

මේ යෝජනාව සම්මත වීමත් සමඟ ම අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට  ඔවුන්ගේ නිලධාරීන් තෝරාපත්කර ගැනීම, ඔවුන්ට අවශ්‍ය දීමනා තීරණය කරගැනීම වගේම මූල්‍ය කටයුතු පිළිබඳ ඔවුන්ට තීන්දු තීරණ ගැනීමේ නිදහස මේ සියල්ල හිමිවෙනවා. ඒ හරහා අල්ලස් හා දූෂණ කොමිසමෙන් බලාපොරොත්තු වෙන සැබෑ   කාර්‍යභාරය  ඉෂ්ට කර ගැනීමට   හැකිවෙනවා. අපේ රට තුළ නව දේශපාලන සංස්කෘතියක් තුළ, දූෂණ විරෝධී,  අල්ලසට එරෙහි පිරිසිඳු රාජ්‍ය සේවයක් ගොඩනැගීම වෙනුවෙන් වූ ඉතාමත්ම වැදගත්‍ යෝජනාවක් තමයි මේ ඉදිරිපත් වෙන්නෙ.”

යනුවෙන් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති, මේ වනවිට ලොව පුරා පවතින බලශක්ති අර්බුදය හමුවේ මෙරට ක්‍රියාකාරිත්වය පිළිබඳවද අදහස් ප්‍රකාශ කළාය.

“මේ මොහොතේ ලෝකය තුළ පවතින තත්වය හමුවේ අපේ ආර්ථිකයටත්,  බලශක්ති ක්ෂේත්‍රයටත් අර්බුද ගණනාවකට මුහුණ දිමට සිදුවී තිබෙනවා. මේ නිරන්තර වෙනස්වන තත්වයන් ගැන පෙර පුරෝකථන කරන්න අපට බැහැ. මේක නිරන්තරවම බලපෑම් වෙනස්වන මොහොතක්. නමුත් රජය ලෙස එම වෙනස්කම් හඳුනාගනිමින් ඒ හරහා අපේ ආර්ථිකයට සිදුවන බලපෑම කලමණාකරණය කිරීම තමයි අපේ වගකීම. ඒ වෙනුවෙන් ඊයෙ දිනයේ කැබිනට් මණ්ඩලය විශේෂ කමිටු හතරක් පත් කිරීමට තීරණය කළා.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවාවන් නොකඩවා ජනතාවට ලබා දීම වෙනුවෙන් තත්වයන් කලමණාකරණය සඳහා කමිටුවක් ද රාජ්‍ය සේවය තුළ බලශක්ති කලමණාකරණය සිදු කරමින් සේවාවන් පවත්වාගෙන යාම පිළිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා කමිටුවක් ද ප්‍රසම්පාදන කොමිෂන් සභාව හා සාකච්ඡා කරමින් බලශක්ති ලබා ගැනීමේ දී පවතින ක්‍රමවේදයන්ට අමතරව නව ක්‍රමවේදයන් හඳුනාගනිමින් කටයුතු කිරීමට කමිටුවක් ද ඒ වගේම මේ තත්වය තුළ ඇතිවිය හැකි සමාජ බලපෑම,  සමාජයේ විශේෂ කොටස් වෙත ඇති විය හැකි බලපෑම සඳහා සාධාරණ විසඳුම්,  සහන සේවා සුබසාධන කටයුතු සොයා බැලීම සඳහා කමිටුවක්ද පත්කිරීම සිදු කරනු ලැබුවා.

මේ අපි සාමුහිකව රටක් හැටියට මුහුණදිය යුතු තත්වයක්. ඒ සඳහා අපේ රාජ්‍යසේවයත් ,පුද්ගලික ක්ෂේත්‍රයත්,  පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලන අධිකාරියත්, අපේ රටේ ජනතාවත් එකතුවෙලා  අපි මින් පෙර අභියෝගවලට මුහුණ දුන් ලෙසටම සාමුහිකව  එක්ව මුහුණ දිය යුතුයි.   ඒ වගේම  නිවැරදි නායකත්වයත් කලමණාකරණයත් හරහා අවශ්‍ය මොහොතේ තීන්දු තීරණ ගනිමින් මේ තත්වයට මුහුණ දිය හැකියි යන විශ්වාසය අපට තිබෙනවා.”


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here