වසර 18කට පසු පෙරළියක් කරයිද?

0
8

අන්තර් ජාතික මලල ක්‍රීඩා සම්මේලනය විසින් දෙවසරකට වරක් ක්‍රියාත්මක කෙරෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ 20 වැන්න ඊයේ ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබිණි. ලබන 21 දක්වා දිගහැරෙන මෙවර තරගාවලිය පිරිමි සහ කාන්තා තරග ඉසව් 49 කින් සැදුම්ලත් මෙවර තරගාවලිය ක්‍රියාත්මක කෙරෙන්නේ ජපානයේ ටෝකියෝ අගනුවරයි. සත්කාරකත්වය ලබා ගැනීම උදෙසා පෝලන්තය, ජපානය, සිංගප්පූරුව සහ කෙන්යාව අතර පැවති තියුණු තරගයෙන් ජය තහවුරු කර ගැනීමෙන් අනතුරුවයි ලෝක ශූරතා තරගාවලියේ පහස ලබන්නට ජපානය සමත් වන්නේ.

මෙම තරගාවලියේ සමාරම්භක උත්සවය නරූහිතෝ අධිරාජ්‍යයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලන සභාපති සෙබස්තියන් කෝ මහත්මාගේ ප්‍රධානත්වයෙන් සමාප්ත උත්සවය 21 දින පැවැත් වීම සංවිධාන කමිටුවේ අපේක්ෂාවයි.

ඒ සඳහ වත්මන් ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීම හේතුවෙන් රන්, රිදී, ලෝකඩ පදක්කම් ගෙල පැළඳ ගැනීමට පවතින සටන්කාමීත්වය ද ඉහළ අගයක් ගෙන තිබේ.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය විසින් මෙහෙයවන ප්‍රමුඛතම තරගාවලිය ලෙස ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය හඳුන්වා දීම අතිශයෝක්තියක් නොවේ. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සමාන හෝ ඊටත් වඩා වැඩි තරගකාරීත්වයක් ඒ තුළ දක්නට ලැබුණු අවස්ථා එමටයි. ඒ තරමටම ලෝක ශූරතා මලල ක්‍රීඩා ජයග්‍රහණ ලොව සෑම රටකට අතිශයින්ම වැදගත්ය.

මෙවර තරගාවලියට මීටර් 100, මීටර් 200, මීටර් 400, මීටර් 800, මීටර් 1500, මීටර් 5000, මීටර් 10000, මැරතන්, මීටර් 3000 බාධක දිවීම, මීටර් 100 කඩුළු මතින් දිවීම (කාන්තා), මීටර් 110 කඩුළු මතින් දිවීම (පිරිමි), මීටර් 400 කඩුළු මතින් දිවීම, උස පැනීම, රිටි පැනීම, දුර පැනීම, තුන් පිම්ම, යගුලිය දැමීම, කවපෙත්ත විසිකිරීම, මිටිය විසිකිරීම, හෙල්ල විසිකිරීම, දස ප්‍රයාම (පිරිමි), සප්ත ප්‍රයාම (කාන්තා), තරග ඇවිදීම (කිලෝ මීටර් 35), තරග ඇවිදීම (කිලෝ මීටර් 20), මීටර් 100 × 4 සහාය දිවීම, මීටර් 400 × 4 සහාය දිවීම , මීටර් 400 × 4 මිශ්‍ර සහාය දිවීම ඇතුළත් කර ඇති අතර ඒ සඳහා එක්ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම සහාය දිවීමේ කණ්ඩායම් වල නාම ලේඛනය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අතරේ සුන්දර පරිසරයකින් පොහොසත් ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු ද එක්ව සිටීම කැපී පෙනෙයි. ශ්‍රී ලාංකේය මලල කෙළිබිමේ අංක 01 සහ අංක 02 විටින් විට හුවමාරු කර ගන්නා පිරිමි හෙල්ල විසිකිරීමේ ශූරයන් ලෙස සුමේධ රණසිංහ සහ රුමේෂ් තරංග මෙවර ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ පරිසාධක මට්ටම අභිබවමින් ජපානයට යන්නේ දශක දෙකකට පසුව ලක් බිමට පදක්කමක් දිනා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් වීම ඒ අතරේ කැපී පෙනෙයි. ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව 07 වැනි ස්ථානය හිමි කර ගෙන සිටින රුමේෂ් තරංග (පෞද්ගලික හොඳම දක්ෂතාව මීටර් 86.50) සහ 10 වැනි ස්ථානයට හිමිකම් කියන සුමේධ රණසිංහ (පෞද්ගලික හොඳම දක්ෂතාව මීටර් 85.78) මෙවර තරගාවලියේ පදක්කම් දිනා ගැනීමේ බලාපොරොත්තු ඉහළ නංවා ඇති අතර එය ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ගේ අවිහිංසක අපේක්ෂාවකි.

මෙවර පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව 20 සහ 21 දිනයන්හි පැවැත්වෙන අතර 14, 16 සහ 18 දින වල කාන්තා මීටර් 400 ඉසව්ව ක්‍රියාත්මක කෙරේ. එම ඉසව්ව සඳහා ලක් බිමේ නදීෂා රාමනායක ද සහභාගි වන්නීය.

යම්කිසි රටක කාන්තා නියෝජනයක් නොමැති අවස්ථාවක එක් ක්‍රීඩීකාවකට අවස්ථාව ලබා දීමේ ජාත්‍යන්තර ක්‍රමවේදයට අනුව නදීෂා රාමනායක මෙවර තරගාවලියට සුදුසුකම් ලැබූයේ පසුගිය සතියේදීය. දේශීය මලල ක්‍රීඩා කෙළිබිම තුළ සිටින අංක එකේ මීටර් 400 කෙටි දුර ක්‍රීඩීකාව වන නදීෂා රාමනායකගේ නම ස්ථිර කර එවන්නට අන්තර් ජාතික මලල ක්‍රීඩා සම්මේලනය පියවර ගෙන තිබිණි. තත්පර 52.61 ක පෞද්ගලික දක්ෂතාවයකට හිමිකම් කියන නදීෂා රාමනායක සමගින් අංක එකේ හෙල්ල විසිකිරීමේ ශූරිය වන නදීෂා දිල්හානි ලේකම්ගේ ගේ නම යොමු කිරීමට පියවර ගත්ත ද අවසානයේ ස්ථිර කර තිබුණේ නදීෂා රාමනායක පමණි.

මෙරට ඉතිහාසය තුළ ලෝක මලල ක්‍රීඩා පදක්කමක් මුල් වරට දිනා ගනිමින් ගෞරවයට පාත්‍ර වන්නට සුසන්තිකා ජයසිංහ සමත් වූයේ දකුණු ආසියාතික රටවල් අතරේ ද ශ්‍රී ලංකාවේ නාමය ඉහළට ඔසවා තබමිනි.

2007 වසරේ ග්‍රීසියේ ඇතෑන්ස් අගනුවර දී ලත් රිදී පදක්කමේ ජයග්‍රහණය ශ්‍රී ලාංකේය ජනී ජනයාගේ සතුට හා අභිමානය ඉහළින්ම ඔසවා තබන්නට හේතූ වූ බව නම් සැබෑය. එය දෙවැනි වූයේ 1996 වසරේ පැවති “විල්ස්” ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව අර්ජුන රණතුංග ප්‍රමුඛ පිරිවර දිනා ගැනීමට පමණකි. කණ්ඩායම් ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට හිමිවන අතර වාරයේ දී කාන්තා මීටර් 200 ඉසව්ව ආශ්‍රිතව එක් ක්‍රීඩිකාවක් විසින් ලත් ලෝක ශූරතා රිදී පදක්කමේ සහ ලෝකඩ පදක්කමේ දිස්නය ද ඉහළ අගයක් ගත් බව නොකියාම බැරිය. සුසන්තිකා ජයසිංහ යනු මෙරට වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් ගෙල පැළඳ ගත් එකම ක්‍රීඩිකාව ද වන්නීය. සුසන්තිකා ජයසිංහ ලත් දෙවන ලෝක ශූරතා මලල ක්‍රීඩා පදක්කම 2007 ඔසාකා නුවර දී හිමිකර ගත්තේ මීටර් 200 ඉසව්වෙනි. එය ලෝකඩ පදක්කමක් වුවත් එහි අගය අදටත් ඉස්තරම්.

වත්මන් ලොව වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරා ගන්නා පිරිමි සහ කාන්තා මීටර් 100 කෙටි දුර ජවන ඉසව්ව ඊයේ (13) සහ අද (14) දෙදින ක්‍රියාත්මක කෙරෙන අතර ඒ අවස්ථාව දැක බලා ගැනීමට අපේක්ෂාවෙන් සිටින ක්‍රීඩාවට ආදරය කරන්නන් දහස් සංඛ්‍යාත පිරිසක් මග බලා සිටිති.

ඉකුත් 2023 වසරේ දී හංගේරියාවේ බුඩාපේස්ට් නුවර දී මෙන්ම මෙවර ජපානයේ තෝකියෝ නුවර දී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා තරගාවලිය එළඹෙන 2027 වසරේ දී චීනයේ බීජිං නුවර දී පැවැත් වීමට තීරණය කර ඇත.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here