ඉදිරියේදී මුහුණදීමට සිදුවිය හැකි ඉන්ධන ගැටලුවලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස නැවත දැනුම්දෙනතුරු සෑම සතියකම බදාදා දිනය රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
රට තුළ දැනට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පැවැතියද, අනාගතයේ ඇතිවිය හැකි බලශක්ති අභියෝගයන්ට පූර්ව අනාවැකි මත පදනම්ව මුහුණදීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවැසීය.රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (16) සවස පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව කියා සිටියේය.
මෙම බදාදා නිවාඩු දිනය රජයේ කාර්යාල සඳහා අදාළ වුවද සෞඛ්‍ය, වරාය, ජලය සහ රේගුව වැනි අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සඳහා එය අදාළ නොවන අතර පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ ක්ෂේත්රය සඳහා ද මෙම නිවාඩුව බලපැවැත්වෙන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.
මීට අමතරව, රජය මඟින් සංවිධානය කරනු ලබන සියලුම උත්සව කටයුතු නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කිරීමට ද පියවර ගෙන තිබේ.
මෙම නිවාඩු තීරණය පෞද්ගලික අංශයට ද අදාළ කරගැනීම සම්බන්ධයෙන් වාණිජ මණ්ඩලය සහ ලංකා සේවායෝජක සම්මේලනය සමඟ ඉදිරියේ දී සාකච්ඡා කිරීමට නියමිතය.
රටේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කර ඉදිරි රාජ්‍ය පාලන කටයුතු විධිමත් කිරීම සඳහා විශේෂ කමිටු කිහිපයක් ද පත් කර ඇත.
ඒ අනුව රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කර තිබේ. බලශක්ති ක්ෂේත්රය වෙනුවෙන් ඇමැති විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් බලශක්ති කමිටුවක් පත් කර ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සහ අධීක්ෂණය සඳහා බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කර ඇත. සමාජ සුබසාධන කටයුතු වෙනුවෙන් උපාලි පන්නිලගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.
දැනට පවතින ඉන්ධන කේත (Fuel Code) ක්‍රමය එලෙසම ක්‍රියාත්මක වන අතර, සංචාරක, සෞඛ්‍ය, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත වැනි ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් ගණනය කර ලබාදීමට රජය පියවර ගෙන ඇත. මෙහිදී විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර බෙදා හැරීමේ ප්‍රවාහන කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබාදීමට අවධානය යොමු කර තිබේ. මෙම කමිටු සඳහා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය නිලධාරීන් ද පත් කර ඇති අතර, ඔවුන් හරහා රටේ ඉදිරි කටයුතු අධීක්ෂණය කෙරෙනු ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා,
“ඉදිරියේදී සෑම සතියකම බදාදා දිනය රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා. මෙම නිවාඩු දිනය සෞඛ්‍ය, වරාය, ජලය සහ රේගුව වැනි අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවලට අදාළ වෙන්නේ නැහැ. එමෙන්ම පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ ක්ෂේත්රය සඳහා ද මෙම බදාදා නිවාඩුව අදාළ වෙනවා. නැවත දැනුම් දෙනතුරු රජය මඟින් සංවිධානය කරනු ලබන සියලුම උත්සව කටයුතු තාවකාලිකව නැවැත්වීමට තීරණය කළා.
මෙම නිවාඩු තීරණය පෞද්ගලික අංශයටද අදාළ කරගැනීම සම්බන්ධයෙන් වාණිජ මණ්ඩලය සහ ලංකා සේවායෝජක සම්මේලනය සමඟ සාකච්ඡා කර කටයුතු කිරීමට තීරණය වී තිබෙනවා.
දැනට පවතින ඉන්ධන කේත ක්‍රමය (Fuel Code) පොදුවේ ක්‍රියාත්මක වන අතර, සංචාරක, සෞඛ්‍ය, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත වැනි ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් ගණනය කර ලබාදීමට පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීමේ ප්‍රවාහන කටයුතු සඳහා ප්‍රමුඛතාවක් ලබාදීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කළා.
රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කළා.
බලශක්ති ක්ෂේත්රය වෙනුවෙන් බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් බලශක්ති කමිටුවක් පත් කළ අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සහ අධීක්ෂණය සඳහා බිමල් රත්නායක ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කළා. සමාජ සුබසාධන කටයුතු සඳහා උපාලි පන්නිලගේ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කළා.
මෙම කමිටු මඟින් රටේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කර ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන අතර, ඒ සඳහා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය නිලධාරීන් පත් කර තිබෙනවා.
මෙම තීරණ ගැනීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දැනට රට තුළ ප්‍රමාණවත් ඉන්ධන සංචිත පැවැතියද, ඉදිරියේ දී මුහුණ දීමට සිදුවිය හැකි ඉන්ධන ගැටලු සම්බන්ධයෙන් පූර්ව අනාවැකි පළ කර ඒ සඳහා සූදානම් වීමයි.”
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර මහතා
“රජයේ සේවය සාමාන්‍යයෙන් දින පහක වැඩ සතියක් ලෙස පවතින අතර, එහි මැද දිනය (බදාදා) කාර්යාල කටයුතු සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළා. මෙම තීරණය ගැනීමට ප්‍රධාන කරුණු දෙකක් බලපානු ලැබුවා. බලශක්ති පරිභෝජනය අවම කිරීම සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා බලශක්තිය/ඉන්ධන යොදවා ගැනීම, පවතින ඉන්ධන සංචිත දීර්ඝ කාලයක් පවත්වා ගැනීම සඳහා පෙර සූදානමක් ලෙස අරපිරිමැස්මෙන් භාවිත කිරීම, කාර්යාල විවෘතව තැබීමේදී සහ ප්‍රවාහන කටයුතු සඳහා වැයවන ඉන්ධන ප්‍රමාණය මෙලෙස අඩු කිරීමට බලාපොරොත්තු වෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙම දිනය පාසල් සඳහා ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. සතියේ සෙසු දින හතරේදී නිලධාරීන් සේවයට කැඳවන අතර, අවශ්‍ය අවස්ථාවල දී සීමා පැනවීම් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පවරා තිබෙනවා.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන මඟින් සපයන සේවාවන් අත්‍යවශ්‍ය ලෙස සැලකෙනවා. විශේෂයෙන්ම සුළි කුණාටුවෙන් පසුව සිදු කෙරෙන නැවත පදිංචි කිරීමේ (resettlement) කටයුතු සඳහා මෙම නිවාඩු දිනය බාධාවක් නොවිය යුතුයි.
රාජ්‍ය සේවය තුළ විදුලිය සහ ඉන්ධන පිරිමැස්මෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් 2022 වර්ෂයේ දී නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය තවදුරටත් වලංගු වන අතර, ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ බලය දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත පවතී. රජය විසින් පවත්වනු ලබන අත්‍යවශ්‍යම කාරණා හැර අනෙකුත් සියලුම උත්සව සහ රැස්වීම් සීමා කිරීමට හෝ අත්හිටුවීමට තීරණය කර ඇත.
මීට විකල්පයක් ලෙස, රැස්වීම් පැවැත්වීමේ දී Zoom සහ Teams වැනි තොරතුරු තාක්ෂණ මෙවලම් භාවිත කරන ලෙස උපදෙස් දී තිබෙනවා. මෙම තත්ත්වය රුකුලක් කරගනිමින්, රජයේ සේවාවන් තුළ තොරතුරු තාක්ෂණික භාවිතයන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමටත්, එම නැඹුරුව දිගටම පවත්වාගෙන යාමටත් රජය බලාපොරොත්තු වනවා.”
Saru News
















