ආහාර අයිතිය- පරිසරය රැකගැනීම ස්වාභාවික ගොවිතැන-සුළු ධීවර අයිතීන් වෙනුවෙන් එකට එක්වුණු ගෝලීය සංස්කෘතික විවිධත්වය
මෙවර ද අපේ හරිත තීරයේ ඉඩකඩ වෙන් කෙරෙන්නේ ඉතා කලාතුරකින් ශ්‍රී ලංකාවට උදාවූ අවස්ථාවක් වන මෙරටදී පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක් වන ‘නියෙලිනී’ ගෝලීය සමුළුව ගැන කතා කරන්නට ය. පසුගිය සැප්තැම්බර් 06 වැනිදා නිල වශයෙන් ආරම්භ කෙරුණු මෙම සමුළුව 13 වැනිදා දක්වා මහනුවර-පොල්ගොල්ලේ ජාතික සමුපකාර සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්වුණු අතර අප මෙම ලිපිය කියවන 14 වැනිදා වන විට සමුළුව නිමාවට පත්වී තිබෙනු ඇත. ‘තුන්වැනි නියෙලිනී ගෝලීය සමුළුව’ (3rd Nyeleni Global Forum) ලෙස හඳුන්වන මෙම සමුළුව සාමාන්‍යයෙන් පවත්වනු ලබන්නේ වසර 8-9 කට වරකි.ශ්‍රී ලංකාවට මෙම සමුළුවේ ආගමනය වැදගත් වන්නේ එම නිසා ය.
මෙම වසර 8-9 කාලයම අනතුරුව වැයකරනු ලබන්නේ සමුළුවේ නොහොත් මීට අදාළ ගෝලීය සංසදයේ, කලාපීය සංසදවල සාකච්ඡා, සම්මන්ත්‍රණ, කෙටුම්පත් සැකසීම, යෝජනාවලි සැකසීම යනාදිය සඳහා ය. කොටින්ම කිවහොත් ‘නියෙලිනී’ යනු සූරාකන ධනවාදී ලෝක ක්‍රියාකාරිත්වයට එරෙහිව බිහිවූ විකල්ප එකමුතුවකි. පීඩිත ජනයාගේ ආහාර ස්වෛරීත්වය ඇතුළු මානව අයිතිය වෙනුවෙන් එක්වුණු සහ මහපොළොව නියෝජනය කරන්නන්ගේ එකමුතුවකි.

2007 වසරේදී මෙහි පළමු සමුළුව අප්‍රිකානු කලාපයේ ‘මාලි’ රාජ්‍යයේදී පවත්වන්නට යෙදුණු අතර දෙවන සමුළුව ද පවත්වන්නට යෙදුණේ ‘මාලි’ රාජ්‍යයේම ය. ඒ 2015 වසරේදී ය. අනතුරුව තුන්වැනි ‘නියෙලිනි’ ගෝලීය සමුළුව මෙසේ 2025 වසරේදී ශ්‍රී ලංකාවේදී පවත්වන්නට යෙදෙන්නේ වසර 10 කට පසුව ය. මෙම සමුළුව ජනවාර්ගික සහ ආගමික විවිධත්වය ඇති, සංස්කෘතික විවිධත්වය ඇති, ආහාර විවිධත්වය ඇති ඉන්දියාව වැනි වැඩි භූගෝලීය විවිධත්වයක් ඇති රටකට යන්නට තිබුණු අවස්ථාව වැළකී ශ්‍රී ලංකාවට පැමිණීම ද විශේෂයෙන් සලකා බැලිය යුත්තකි.

එනම්, කොවිඩ් වසංගතයෙන් පසුව රට පත්වූ ආර්ථික කඩාවැටීම සහ ඇතිවූ ජන අරගල ව්‍යාපාරය සහ අනතුරුව වර්තමානය දක්වා රට තුළ සිදු වූ වාමාංශික දේශපාලන පරිවර්තනය විශේෂයෙන් මෙම සමුළුව ශ්‍රී ලංකාවට පැමිණීමට හේතු වූ බව ‘නියෙලිනී’ ජාතික සහ අන්තර්ජාතික සංවිධායකයන් පවසා සිටියේ ඉකුත් දින කිහිපයේදී එම සමුළුවට සහභාගිවූ පාරිසරික, කෘෂිකාර්මික අංශ නියෝජනය කරන මාධ්‍යවේදීන් වෙනුවෙන් අදහස් දක්වමිනි. එනම්, බොහෝ විට අලුතින් ශ්‍රී ලංකාවේ බලයට පත් ආණ්ඩුව ඒ පිළිබඳව නිවැරදිව අවබෝධ කරගෙන ඇත්දැයි අප නොදන්නා නමුත්, රටේ ඇතිවූ නව දේශපාලනික සංස්කෘතික පරිවර්තනය මෙම සමුළුවේ ශ්‍රී ලංකා ආගමනයට පැහැදිලිවම හේතුවක් වී තිබේ.

මාලි රාජ්‍යයේ විසූ ‘නියෙලිනි’ නම් කාන්තාව විසින් එරටේ ‘ආහාර ස්වෛරීත්වය’ වෙනුවෙන් සහ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේදී පවුල් කුටුම්භය තුළ කාන්තාව දක්වන කැපවීම සහ දායකත්වය, සුළු ජන අයිතිය, ස්වාභාවික ගොවිතැන, ආහාර, ජලය, භූමිය භාවිතයේදී සිදුව ඇති අසාධාරණය වෙනුවෙන් සාධාරණය ඉටුකරගැනීම, සමුපකාර ව්‍යාපාර සංකල්පය වැනි පුළුල් මාතෘකා ඔස්සේ ඇය ගෙන ගිය සටන්කාමී ජන රැස්කිරීමේ ව්‍යාපාරයට ගරු කිරීමක් ලෙස මෙම සමුළුව ‘නියෙලිනී’ නමින් නම්කර ඇති අතර ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ලෝක ආහාර සහ කෘෂිකාර්මික සංවිධානයේ වැනි ආයතනවල ද සහාය පළ කෙරේ. කෙසේ හෝ ලොව පුරා විසිරී පවතින විවිධ අරමුණුවලින් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවලින් නොනැවතී ඉන් ඔබ්බට ගිය සමාජ-සංවිධාන, ව්‍යාපාරවල, එකමුතුවල (Movments) ලෝක ව්‍යාපාරයක් වන ‘නියෙලිනී’ ව්‍යාපාරය, මහා බලවතුන්ට මහපොළොවේ සැබෑ තිරසර සංවර්ධනය ප්‍රකට කරවන බලවේගයක් සේ නැගී සිටින ව්‍යාපාරයකි. ක්‍රම-ක්‍රමයෙන් ශක්තිමත් වන මෙම ව්‍යාපාරය ලෝකයට බලකර කියන, හඬගා කියන සමාජ ආර්ථික දේශපාලනික පරිවර්තනයක් යෝජනා කරයි. එම ප්‍රකාශනය සමුළුව අවසානය සිදු වූ 13 වැනිදා සවස ලෝකයට ඉදිරිපත් කළ බව සමුළු නියෝජිතයෝ අප සමග පැවසූහ.

මෙවන් වටිනා සමුළුවක් සඳහා අපගේ නියෝජනය ද ලබාදීමට දින කිහිපයක් අප ද මෙම සමුළුව හා ඒකාත්මික වෙමින් අපගේ සහභාගිත්වය පළ කරන ලද අතර, සමුළුවේ කතා-බහෙන් ඔබ්බට ගොස්, ලෝකයේ විවිධ රාජ්‍යයන්, කලාප, ප්‍රදේශ නියෝජනය කරන විවිධ ජාතීන්, විවිධ ආගමික සහ සංස්කෘතික විවිධත්වය සමගද සැරිසරන්නට අපගේ ‘සංචාරේ – හරිත’ තීරය වෙන්කරන්නට හැකි වීම අපට භාග්‍යයකි. ලෝකයේ විවිධ ව්‍යාපාර නියෝජනය කරන සුළු පන්න ධීවර ප්‍රජාව, පාරිසරික ගොවිතැනේ නිරත ගොවීන් සහ ඒ වෙනුවෙන් ක්‍රියාකරන සංවිධාන, වස-විසට එරෙහි ව්‍යාපාර, පාරම්පරික බීජ අයිතිය, ඉඩම් සහ ජලය ගැන කතාකරන ප්‍රජා එකමුතු, ශ්‍රී ලංකාවේ වැදි ජනයා ප්‍රමුඛ ලෝක ආදීවාසීන්, අප්‍රිකානු කලාපය නියෝජනය කරන සංවිධාන ඇතුළත් ලෝකයේ රටවල් 101 ක නියෝජිතයින් 700ක් පමණ පැමිණි මෙම සමුළුව පැහැදිලිවම සංස්කෘතික විවිධත්වය ඉහ වහා ගිය සමුළුවකි.

විශේෂයෙන්ම ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්වල සිට ඇති වාර්ගික විචිත්‍රාංගික බව සහ භාෂා විවිධත්වය ලෝකය එකට යාකළ අපූරු වේදිකාවක් බවට පත් විය. මේ සියල්ලෝම එකම තැනක එකට එක්ව, ආහාර විවිධත්වය රස විඳිමින්, භාෂා විවිධත්වය වින්දනය කරමින්, එක් එක් රටවල කලාපවල ගී ගායනා ඇතුළු කලා-ශිල්ප, සංස්කෘතික අංග විදහා දක්වමින් කරන ලද ප්‍රාසාංගික විදහා පෑම ශ්‍රී ලාංකිකයින් පමණක් නොව ලොවම විඳිය යුතු අත්දැකීමක් බව අපගේ හැඟීමයි.

ඒ සියල්ලටත් වඩා ආහාර අයිතිය බහුජාතික සමාගම්වලින් ගලවා එක් එක් රටවල, ප්‍රදේශවල, ජන කොට්ඨාසවල, ග්‍රාමීය ප්‍රජාවගේ අයිතියක් බවට ප්‍රකට කරමින් ‘ආහාර ස්වෛරීත්වය-Food Sovereignty නමැති සංකල්පීය ක්‍රියාකාරකම පුහුණු කරන මෙම ජන එකමුතුවේ ප්‍රතිපලය නම් සැබෑවටම ලෝකයේ පාරිසරික සම්පත් සංරක්ෂණය කෙරෙන තිරසාර ක්‍රමවේදයයි. එවැනි වටිනා ජන එකමුතුවකට එක්වෙන්නට අපටද ලැබුණු අවස්ථාව මහත් භාග්‍යයක් වේ. දින කිහිපයක් පුරා මෙසේ මෙම ‘නියෙලිනි’ ගෝලීය සමුළුවෙන් ලැබුණු අත්දැකීම්, ප්‍රකාශන ඔස්සේ ලැබුණු දැනුම හා අවබෝධය අප වෙනම ලෝක වෙනසකට කැඳවාගෙන යනු දැනේ. ‘ක්‍රම වෙනස හෙට නොවේ අද’ ලෙස දක්වමින් ශ්‍රී ලංකාවේදී මෙසේ පැවැති 3 වැනි ගෝලීය නියෙලිනි සමුළුවේදී අවසන ඉදිරිපත් කෙරෙන සමාජ-ආර්ථික-දේශපාලනික ලියවිල්ල කුමක්ද යන්න ගැනත්, එම ලියවිල්ල ලෝක ලිබරල්වාදීන් පිළිගන්නේ කෙලෙසකදැයි යන්න ගැනත් අපට ඉදිරියේදී කතා කළ හැක.
මහනුවර-පොල්ගොල්ලේ, සුන්දර මහවැලි ගංගා නදී තෙර පිහිටි ජාතික සමුපකාර සංවර්ධන මධ්‍යස්ථානයේදී මුළු දුන් මෙම සමුළුවේ දින කිහිපයක අත්දැකීම් විඳ යළිත් අප අගනුවර බලා ගමන් ගත්තේ ලෝකයට ඉදිරිපත්වෙන නව පරිවර්තනීය ක්‍රම වෙනසක අවශ්‍යතාව මල් ඵල ගැන්වෙන දිනය ගැන අතැඟිලි ගනිමිනි.
නියෙලිනි 3 වැනි ගෝලීය සමුළුවේ සංවිධාන 07 කින් සමන්විත ශ්‍රී ලාංකීය මෙහෙයුම් කමිටුව වන පරිසර යුක්ති කේන්ද්‍රය, ජාතික ධීවර සහයෝගිතාව, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය, ස්ත්‍රී මධ්‍යස්ථානය, ප්‍රජා අධ්‍යාපන මධ්‍යස්ථානය, Fian Sri Lanka සහ PHM Sri Lanka යන සංවිධාන Friends of The Earth, World Fisheries Forum වැනි ජාත්‍යන්තර සංවිධාන සමග සමුළුව ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර තිබිණි.

ජගත් කණහැරආරච්චි
Saru FM Media