ගෙදර ගියේ මහින්ද විතරක් නොවේ

0
10

‘අපට යන්න කිව්වා, අපි යනවා’ යනුවෙන් කියමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසෙන් ඉවත්ව හම්බන්තොට මැදමුලන පිහිටි කාල්ටන් නිවෙස වෙත නික්ම ගියේය.

‘අපි නිවෙස භාර දෙන්නේ සතියකින්. අර ඉන්වෙන්ටි්‍ර ටික ඔක්කොම සම්පූර්ණ කරලා. සර් අද තංගල්ලට යනවා නිල නිවෙසින් ඉවත් වෙලා.’ යනුවෙන් ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේය.

මහින්ද රාජපක්ෂ නිවෙසින් නික්ම ගියේ නිහඬව නොවේ. නිකම්ම නොවේ. බෞද්ධ හිමිවරුන් පැමිණ මහින්ද රාජපක්ෂ කෞතුක වස්තුවක් ලෙස රැකගත යුතු බව කීය. තවත් අය කීවේ, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යුද්ධය නිමා කිරීමට පළිගැනීමක් ලෙස පනතක් සම්මත කරගෙන ඔහුව නිවෙසින් ඉවත් කළ බවය.

මහින්ද රාජපක්ෂ කාල්ටන් යන මොහොතේ, රාජපක්ෂ සහෝදරයන් විසිර ගොස්ය. බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ සිටී. ගෝඨාභය රාජපක්ෂ මිරිහානේ සිටින්නේ ජනාධිපති ධුරයට තරග කිරීම සඳහා තමන්ට තිබුණු ඇමෙරිකන් පුරවැසිභාවය අත්හැර දැමූ කෙනකු ලෙසය. චමල් රාජපක්ෂ තවත් තැනකය. මහින්ද රාජපක්ෂ නැවත හම්බන්තොටටය. 2020 පාර්ලිමේන්තු මැතිවරණයට කුරුණෑගලින් තරග කළ මහින්ද රාජපක්ෂ මහතා ස්ථීර පදිංචියට හම්බන්තොටට යන්නේ දශක කිහිපයකට පසුවිය යුතුය.

කොහොම වෙතත් හම්බන්තොට යද්දී මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ, මින් ඉදිරියේදීත් දේශපාලන කටයුතුවල නිරත වන බවය.

මේ විදියට නිවෙසින් ඉවත් වීමට මහින්ද රාජපක්ෂට සිදු වූයේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත ඡන්ද 150ක් ලබා පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසුය. මේ පනතට එරෙහිව මහින්ද රාජපක්ෂගේම පුත්‍රයා නාමල් රාජපක්ෂවත් ඡන්දය දුන්නේ නැති බව මේ මොහොතේ කිව යුතුය.

මීට මාස කිහිපයකට පෙර සිට ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ට නිල නිවාසවලින් ඉවත් වෙන ලෙස දැනුම් දී තිබුණි. එහෙත්, එසේ දැනුම් දුන්නත් නීතිමය වශයෙන් ක්‍රියා කිරීමේ හැකියාවක් ආණ්ඩුවට තිබුණේ නැත. ඒ නිසාම නාමල් රාජපක්ෂ වැනි නායකයන් දිගින් දිගටම කීවේ තමන්ට නිවෙස හිමි බවත්, තමන්ට ලිඛිතව ඉවත් වෙන ලෙස දැනුම් දෙන තුරු තමන් ඉවත් නොවෙන බවත්ය. මේ අතර මහින්ද රාජපක්ෂට පොලිස් ස්ථාන හතරකට සමාන නිලධාරීන්ගෙන් සමන්විත අධික පිරිවැයක් දරන ආරක්ෂක නිලධාරී ප්‍රමාණය අවශ්‍ය මට්ටම දක්වා අඩු කිරීමට රජය තීන්දු කර තිබුණි. ඒ තීන්දුවත් රාජපක්ෂ මහතාගෙන් පළිගැනීමක් ලෙස සඳහන් කළ අතර, ආරක්ෂාව අඩු කළාට පසුත් පොලිස් නිලධාරීන් අසූවකගේ පමණ ආරක්ෂාවක් තිබුණේ වුව තමන්ගේ ආරක්ෂාව ගැන මැසිවිලි නඟන්නටත් විය. එවැනි පසුබිමකය පෙර කී පනත සම්මත වූයේය.

පනත සම්මත වීම ගැන අතුරු නිරීක්ෂණයක් කිවහොත්, පනතට විරුද්ධව ලැබුණේ එකම එක ඡන්දයකි. ඒ, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ගේ ඡන්දයයි. චාමර සම්පත් කිසිදාක දැඩි මහින්ද හිතවාදියකු ලෙස කැපී පෙනී නැත. ඉතින්, ඩී.වී. චානකගෙන්, රෝහිත අබේගුණවර්ධනගෙන් හෝ නාමල් රාජපක්ෂ පුත්‍රයාගෙන් දකින්න නොලැබුණු රාජපක්ෂ හිතවාදීත්වයක් සැප්තැම්බර් 10 වැනිදා පනතට එරෙහිව අත ඉස්සූ චාමර සම්පත්ට තිබුණේ යැයි කිව හැක. කෙසේ වෙතත්, මේ පනත ඉතිහාසයේ සනිටුහන් වනු ඇත්තේ පාර්ලිමේන්තුවේ කිසිදු අභියෝගයක් නැතිව සම්මත වූ පනතක් ලෙසය. පනත ගැන සාමාන්‍ය සමාජයේ අදහස් බැලූ කලද පෙනෙන්නේ සැලකිය යුතු තරම් ජනතාව මේ පනතට පක්ෂ බවය.

කෙසේ වෙතත් පනතේ ප්‍රතිඵලය වූයේ මහින්ද රාජපක්ෂ පමණක් නොව, නිල නිවාස භාවිතා කරමින් සිටි චන්ද්‍රිකා කුමාරතුංගට ද එම නිවෙසින් ඉවත් වීමට සිදු වීමටය. ඒ වෙද්දීත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිල නිවෙසින් ඉවත් වී සිටි අතර, මීට පෙර රණසිංහ ප්‍රේමදාස බිරිඳ මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මිය ද තමන් සිටි නිවෙසින් ඉවත් වී තිබුණි.

ඔව්, මේ පනත හිටපු ජනාධිපතිවරුන්ට පමණක් නොව ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවන්ටත් අදාළ බව සිහිපත් කළ යුතුය.

මෙම පනත ගැසට් කර ඉතා කෙටි කාලයක් ඇතුළත සම්මත කොට කථානායකගේ අත්සනද ලබා දුන් පනතකි. පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු කළද, මෙම පනත ව්‍යවස්ථාවට අනුකූල බවට තීන්දුවක් ලැබුණි. ඒ අනුව, සැප්තැම්බර් 9 වැනිදා පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න නිවේදනය කර සිටියේ පනත ව්‍යවස්ථානුකූල බවය.

1986 අංක 04 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත් ජනාධිපතිවරුන්ගේ හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන ආරක්ෂාව ලබා දුන් පනතක් නොවේ. මෙම පනත හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් නියම කළ පනතක් නොවේ. ඒ අනුව ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත එවැනි පහසුකම් ඉවත් කරන පනත් නොවේ.

මේ පනත 1986 පෙබරවාරි 18 වැනිදා සම්මත විය. ඒ, එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1978 සිට ජනාධිපතිධුරය දරා, එයින් විශ්‍රාම ගැනීමට ළං වෙද්දී ඉදිරිපත් කළ පනතකි. සරල බසින් කීවොත් ජේ.ආර්. ජයවර්ධන තමන් විශ්‍රාම ගනිද්දී නිවෙසක් ලබාගැනීමට සම්මත කළ පනතක් ලෙස කිව හැක. ජේ.ආර්. ජයවර්ධන පනතෙන් නිවෙසක අයිතිය තමන් සතු කරගත්තද, ඔහුට කොළඹ වෝඩ් පෙදෙසේ බ්‍රෙමර් මැඳුර නම් සුපිරි නිවාසය තිබුණි. ඔහුගේ බෑණා රනිල් වික්‍රමසිංහට කොළඹ පස්වැනි පටුමගේ නිවෙසක් ඇති සේය. ඒ නිසා තමන්ට කොළඹ හතේ නිවෙස් අමුතුවෙන් ගන්නට ඔවුන්ට ඕනෑ නැත. ඔවුන්ට අයිතිය තිබුණි. ඒ ප්‍රභූත්වය නිසාම තමන්ට රටම අයිති බව සිතමින් ඔවුන් හැසිරුණු බව වෙනම කිව යුතු කතාවකි.

කෙසේ වෙතත්, තමන් ලබා නොගත් මුත් තමන්ගේ අයිතිය තහවුරු කරගැනීම සඳහා ඔහු සම්මත කරගත් උක්ත පනත අනුව අනුව, “සෑම හිටපු ජනාධිපතිවරයකුටම සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකටම ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ වාසය සඳහා උචිත නිවාසයක් නිවාස කුලියෙන් තොරව සැපයිය යුතුය.”

උචිත නිවාසයක් සැපයීමට නොහැකි අවස්ථාවක අදාළ ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන දීමනාවක් නිවාස කුලිය ලෙස ලබාදිය යුතුය. ඒ අනුව,’ජේ.ආර්. ජයවර්ධන නිවස නොගන්නේ නම් ඔහුට කුලිය ගත හැකිව තිබුණි. ඔහු කුලිය ලබා ගත්තේ දැයි දැනගැනීමට අප උත්සාහ කළත්, එය තහවුරු කරගැනීමට නොහැකි විය.

පනත අනුව හිටපු ජනාධිපතිවරයකු අභාවයට පත්වුවහොත් හිමි විශ්‍රාම වැටුපෙන් තුනෙන් දෙකකට සමාන විශ්‍රාම වැටුපක් සහ නිල නිවස බිරිඳට හෝ සැමියාට ඔවුන් ජීවත්වනතුරු ලබාදිය යුතුය.

රණසිංහ ප්‍රේමදාස යනු ධුරයේ සිටියදීම ඝාතනයට ලක් වූ හිටපු ජනාධිපතිවරයෙකි. ඒ අනුව ඔහුට හිමි වරප්‍රසාද ලැබුවේ වැන්දඹු බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මියයි. ඇයට කොළඹ ස්ටැන්මෝර් චතුරස්‍රයේ නිවෙසක් මුලින් ලැබුණි. පසුව ඇය කොළඹ 07 ග්‍රෙගරි මාවතේ පිහිටි සී-80 දරන නිවෙසට මාරු වී තිබුණි.

හිටපු ජනාධිපති ඩී. බී. විජේතුංග විශ්‍රම ගැනීමෙන් පසු වාසය කළේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනධිපතිවරයාව සිටියදීත් පාවිච්චි කළ මහගමසේකර මාවත හෙවත් පැජට් පාරේ පිහිටි නිවෙසේය. මේ දෙදෙනාම එකිනෙකට අනුබද්ධ නිල නිවාස දෙකක් ඒකාබද්ධ කොට එක නිවෙසක් ලෙස පාවිච්චි කර තිබුණි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කොළඹ 07 නිදහස් මාවතේ අංක 27 දරන නිවාසයේ පදිංචිව සිටියාය.

මහින්ද රාජපක්ෂ විජේරාම මාවතේ පිහිටි පෙර කී නිවෙසේ දැන් වසර 10ක් තිස්සේ රැඳී සිටින්නේය. ඔහු නිවෙසින් ඉවත් වීමේ නාට්‍යමය ජවනිකාව අපේ මේ ලිපියට පාදක වූ තේමාව වූයේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා පෙර කී මහගමසේකර මාවතේ නිවසේ සිටියේය.

මේ අතර තව යමක් සිහිපත් කළ යුතුය. ජේ.ආර්. එවැනි පනතක් සම්මත කළා සේම හිටපු ජනාධිපතිවරුන් තමන්ගේ වරප්‍රසාද වෙනුවෙන් තීන්දු ගෙන, ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආපසු හැරවූ අවස්ථා ද ඇත.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට පහසුකම් සැලසීම සඳහා ගත් තීණ්දුවක් 2005 දී නැවත හැරවීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.

මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙස ගැනත් යමක් කිව යුතුය. ඔහු විසින් එවකට පාවිච්චි කරමින් සිටියේ කොළඹ 07 මහගමසේකර මාවතේ පැවති නිල නිවෙසකි. 2019 ඔක්තෝබර් 15 වැනිදා, එනම් ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තිබියදී එවකට පැමිණි කැබිනට් මණ්ඩලයට මුදල් අමාත්‍ය මංගල සමරවීර කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබූ ඒ අනුව උක්ත ජනාධිපතිවරයන්ගේ හිමිකම් පිළිබඳ පනතේ සහ අනෙකුත් නීතිවල සඳහන් පහසුකම්වලට අමතරව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට පමණක් විශ්‍රාම ගැනීමෙන් පසු විශේෂ වරප්‍රසාද ගණනාවක් ලබා දී තිබුණි. ඒ මදිවාට නිවෙස ප්‍රතිසංස්කරණයට ලක්ෂ 150ක් පමණ වියදම් කර තිබුණි. එසේ කියද්දී අතුරු කතාවක් ලෙස සිහිපත් කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සාමිවරයෙක් සමග දවල් කෑමට යන්නට පමණක් ලක්ෂ 16ක් දවස් එකහමාරක් ඇතුළත වියදම් කළ බවය.

කෙසේ වුව දැන් සියලු හිටපු ජනාධිපතිවරුන් හා වැන්දඹුවන් සතු වූ නිවෙස, ලේකම් දීමනාව ඇතුළු පහසුකම් අහිමිය. පනත සම්මත වූ දාම රෑ කථානායකවරයා පනතට අත්සන් තැබීය. එය මහින්ද රාජපක්ෂට පමණක් එරෙහිව ගත් තීන්දුවක් ද නොවේ.

හිමිකම් යනු වැදගත් වචනයකි. ඉඩමකට, නිවෙසකට මෙන්ම විශ්‍රාම ජීවිතයකට ඇති හිමිකම ඉතා වැදගත් සංකල්පයකි. ඒත්, ඒ හිමිකම ඇත්තේ හිටපු ජනාධිපතිවරුන්ට පමණද? පුරවැසියා කල්පනා කළ යුතුය. රාජපක්ෂ යුගයේ කොළඹ නිවාස කීයක් කඩා මිනිසුන් ඉවත් කර තිබුණේද? ඔවුන්ට නිවසක් අයිති නැතිද?

හිමිකම මෙන්ම අහිමි කිරීම යන්නත් දේශපාලනයේදී ජනතාව ප්‍රමුඛ ලෙස මතකයේ තබාගත යුතු සංකල්පයකි. ඉඩමකට, නිවෙසකට හෝ විශ්‍රාම දිවිය අහිමි කිරීම පමණක් නොව ජීවත්වෙන්නට ඇති හිමිකම පවා අහිමි කර දැමීම අසාධාරණයකි.

මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ආහාර, ජලය, සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස හෝ භූමිය මූලික අයිතිවාසිකම් අතර නැත. මේ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බව අප කියන්නේ කාලෙක පටන්ය.

පෙර කී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පිරිස් තර්ක කළේ, ජනාධිපතිවරුන්ට ඇති හිමිකම් ඉවත් කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවය. ඒ කියන්නේ හිටපු ජනාධිපතිවරුන්ට, වැන්දඹුවන්ට සහ අනෙක් අයට නිවෙසක් සහ අනෙක් සම්පත් දී තිබෙන්නේ ව්‍යවස්ථාවෙන්ම බවය. මෙය සාමාන්‍ය ජනතාවට නිවෙස්, විශ්‍රාම අයිතීන් ලබා දී නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මුත්, හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනෙක්ට පමණක් අයිතිවාසිකම් ලබා දී ඇති බව ඔවුහු තර්ක කළහ. ඒ නිසාය ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ, උක්ත පනත ව්‍යවස්ථා විරෝධී ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනාට ව්‍යවස්ථාවෙන් නිවාස හිමිකමක් නැති බවය. අප සටන් කළ යුත්තේ සාමාන්‍ය බහුතර ජනතාව නිවෙස්වලින් එළියට ඇද දමද්දී, ඉඩම්වලින් එළියට ඇද දමද්දී, විශ්‍රාම අයිතිවාසිකම් අහිමි කරද්දී ඒවාට එරෙහිව ජනතාව ආරක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. ඇතැම් විට එවැනි ව්‍යවස්ථාවක් තිබුණා නම් අනෙක් සෑම පුරවැසියෙක්ටම වාගේ ජනාධිපතිටත් නිවෙසක් අයිති බවට නඩු තීන්දු ලැබෙන්නට ඉඩ තිබුණි.

අවසානයේ කිව යුත්තේ කුමක්ද? මේ පනත හුදෙක් හිටපු ජනාධිපතිලාට පමණක් වූවක් නොවේ. මේ පනත වත්මන් ජනාධිපතිවරයා විශ්‍රාම ගන්නා දිනයයේදී ඔහුටත් අදාළය. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ව්‍යාපාරික සහෝදරයන් නැත. ඔහුට පරම්පරාගත වළව් නැත. ඔහුගේ අනාගතය ගැන අනාවැකි කියනවා නොවේ. ඔහු කොතැන නවතින්නේ දැයි ඔහුටවත් දැන්ම අනාවැකි කිව නොහැක. එහෙත්, දැන් අපට පෙනෙන හැටියටත්, ඔහුම කියා ඇති සැටියටත්, ඔහුට දී ඇති ජනවරම අනුවත් මේ වසර පහ ඉවර වෙද්දී විධායක ජනාධිපති ක්‍රමය පවා ඔහු අහෝසි කළ යුතුය.

ඔහුට දේශපාලනයේ යෙදෙන පුතුන් නැත. ඔහු විශ්‍රාම ගන්නා දිනෙක සාමාන්‍ය දිවියකට යා යුතුය. නේපාලයේ මහා කැළඹීමකින් පසු එරට වගකිවයුත්තන් පාරට බැස්ස තරුණයන්ගේ අපේක්ෂා ඉටු කිරීම ගැන කතා කරයි. වසර තුනකට පෙර පාරට පැමිණි ලාංකික තරුණයන් අපේක්ෂා කළ දේශපාලනයේ වෙනස එයයි.

තරිඳු උඩුවරගෙදර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here