එහෙත් ගිනි මෙහෙත් ගිනි අපට බඩගිනි!

0
7

ලංකාවේ පමණක් නොව, ලෝකයේ බොහෝ රටවල සමාජ දේශපාලන මෙන්ම සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සියල්ලකම වාගේ අවධානය යොමු වූ ප්‍රමුඛ සිදුවීම වූයේ නේපාලය ගිනිබත් කළ තරුණ අරගලය පිළිබඳ පුවතය. GENZ තරුණ අරගලය ලෙස හැඳින්වුණු ඒ විරෝධතාව දෙස ත්‍රාසයෙන් ද කම්පනයෙන් ද බලා සිටි ප්‍රේක්ෂක ප්‍රජාව ලක්ෂ සංඛ්‍යාත වියයුතුය. ශ්‍රී ලංකාවේ අපට ද මේ අරගලය සමග මෙරටේත් සිදුවූ ආණ්ඩු පෙරළියකට තුඩු දුන් අරගලයක් පිළිබඳ විවිධ සැමරුම් ද නැඟෙයි. අපේ ගාලු මුවදොර අරගලය තුළ ද සාහසිකත්වය, ප්‍රචණ්ඩත්වය දැකගත හැකිවිය. අරගලයක් යනු සාමකාමීව සිදුවන්නක් නොවුවද එහිදීත් කිසියම් විනයක් – පාලනයක් තිබිය යුතු යැයි පවසන අය ද සිටිති. එහෙත් එය කෙතෙක් දුරට ප්‍රායෝගික ද යන්නත් ප්‍රශ්නයකි. එයට එක් හේතුවක් වන්නේ නිසි දේශපාලන නායකත්වයකින් තොරව සිදුවන අරගලයක් කෙබඳු දිශානතියකට යොමුවේ දැයි පැවසීමේ දුෂ්කරතාවය නිසාය. නේපාල අරගලයේ GENZ වරුන් පවසා තිබුණේ ද ඒ මැදට කොල්ලකරුවන් ඇතුළු ආක්‍රමණිකයන් රිංගා සිටි බවය.

නේපාල අරගලයේ නිමිත්ත වී ඇත්තේ අන්තර්ජාල, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තහනමකි. අරගලය සිදුවන අතරතුර ආණ්ඩුව ඒ තහනම ඉවත් කළත් ඒ ක්‍රියාදාමය නතර නොවූ බවද සඳහන් වේ. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කරන ලද විග්‍රහය ගැඹුරු සමාජ දේශපාලන විඥානයක් පළ කරන්නකි. රනිල්ගේ ප්‍රශ්නය වන්නේ ගූගල්, ෆේස්බුක්, යූටියුබ් වැනි ඇමරිකානු සමාජ මාධ්‍ය සමාගම්වලට ලෝකයේ සෙසු රටවල ආණ්ඩු නැති කිරීම සඳහා ඉඩ ලැබීම අනුමත කළ හැකිද? යන්නය. ඔහු අවධාරණය කළ කරුණ නොතකා හැරිය නොහැකිය. එහෙත් දහසක් පොරොන්දු දෙන පාලකයන් තමන්ගේ සමාජ දේශපාලන දෘෂ්ටි කෝණවලින් බැහැරව ජනතා ප්‍රශ්න විශේෂයෙන් තරුණ ප්‍රශ්න දෙස නොබැලීම මේ බොහෝ විනාශයන්ට හේතු වී තිබේ. විශේෂයෙන් තොරතුරු ලබාදීමට දක්වන මැළිකම, පසු බැසීම අපේ ආණ්ඩුවල ද පොදු දුබලතාවක් වී තිබේ.

නේපාලයේ මේ වනවිට මහා විනාශයක් සිදුවී තිබෙන බව වාර්තා වේ. විරෝධතාවකදී විනාශ වන්නේ ජනතාව සතු සම්පත් හා වටිනාකම් බව ඇත්තය. එහෙත් අරගලයක දී ඒවා ගැන තැකීමක් නැත. ආණ්ඩුවක් ක්‍රියා කළ යුත්තේ කෙසේද? ඔවුන්ගේ ආකල්ප හා ජනතාව අතර පරස්පරතාවන් තිබේද යන්න දැන මැන ගැනීමට සමාජ දේශපාලන විඥානයක් ද අවශ්‍යය. නේපාල ආණ්ඩුව ද සමාජ මාධ්‍ය තහනම ඉවත් කර නිලබල අතහැරීමට ද පියවර ගෙන තිබුණි. එහෙත් ඒ වනවිට හානිය සිදුවී අවසන්ය. නේපාල අගමැති, ජනාධිපති, ඇමැති ආදීන් ඉවත්ව යනවිට පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල, අධිකරණ ගොඩනැඟිල්ල ආදිය දැවෙමින් තිබුණි. එහි තේරුම ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම, නීතියේ හා සාධාරණත්වය ඉටු කිරීමේ දෙවොල ගිනි ගෙන විනාශ වීමේ ක්‍රියාවලියට පාලකයන් ද වගකිව යුතු බවය. ගොඩනැඟිලි යළි ඉදිකරගත හැකි වුවද ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වී යෑම බරපතළ අනතුරකි.

මෙම අරගලය නිසා මේ වනවිටත් ජීවිත ගණනාවක් ද නැති වී තිබේ. නේපාල හිටපු අගමැතිගේ නිවස ගිනි තබා අගමැතිගේ බිරිඳ ඒ ගින්නෙන් දැවී යෑම බිහිසුණු ඛේදවාචකයකි. ඇමැතිවරුන් කීපදෙනකුටම පහර දී තිබුණි. වීදිවල දී ප්‍රහාරයන්ට ලක්වූ ඒ සමහරුන්ගේ දුක්මුසු විලාසයන් ද රූපවාහිනි මාධ්‍ය ඔස්සේ දැකගත හැකි විය. මොනම ආකාරයක ප්‍රහාරයක් – ඝාතනයක් වුවද අනුමත කළ නොහැක. ලංකාවේ සිදුවූ අරගලයේදීත් මන්ත්‍රීවරයකු මහමඟ මරා දමා තිබුණි. ඇමැති – මැති නිවාස ගිනි තැබුණි. ආණ්ඩුවට සම්බන්ධ පක්ෂවල අයට ද විවිධ හිරිහැරවලට ලක්වීමට සිදුවිණි. ලංකාවේ හා බංග්ලාදේශයේ අරගලවලින් නේපාලයට පූර්වාදර්ශයක් ලැබී තිබේදැයි අපට කිව නොහැක. නේපාලය සෑහෙන කලක සිට අර්බුද මැදින් ඉදිරියට ගිය රටක් බවද කියනු ඇසෙයි. එසේම උග්‍රවන ජනතා ප්‍රශ්නවලට විසඳුම් දීමට පාලකයන් අසමත් වූ බවද කියති.

නේපාලය යනු ලංකාවේ බොදු ජනතාවගේ ද පුණ්‍ය භූමියකි. බුදුන් වහන්සේගේ උපත සිදුවූයේද නේපාලය ලෙස අද වෙන්ව තිබෙන භූමියේදීය. නේපාලයේ බහුතරය හින්දූන් වන අතර බෞද්ධයෝ ද සුළුපිරිසක් සිටිති. සිදුහත් උපත සිදුවූ ලුම්බිණිය අද ලෝක උරුමයක් ලෙස ද ප්‍රකාශිතය. නේපාලයේ වර්තමානය මෙන්ම හෙට දවස ද සුරැකීමට තරුණ අරගලකරුවන්ගේ මෙන්ම දේශප්‍රේමී ජනතාව ද එක්ව සමගියෙන් ක්‍රියා කළ යුතුය. බුදුන් වදාළ සප්ත අපරිහානි ධර්මය දෙසූ රටක ඝාතන, භීෂණ සිදුවනු දැකීම ද අභාග්‍යයකි.

එංගලන්තයේ හිටපු අගමැතිවරයකු වූ බෙන්ජමින් ඩිස්රායිලි වරක් ප්‍රකාශ කළේ මානව ඉතිහාසයේ නොයෙක් ආකාර විප්ලව සිදුවී ඇති බවත් ඒවා දේශපාලන, ආගමික, ආර්ථික ආදී වසයෙන් හඳුනාගත හැකි බවත් එහෙත් ඒවායින් ස්වාධීන මතධාරීන් බිහිවී තිබේ ද යන්න ප්‍රශ්නයක් බවත්ය. මෙය ලංකාව සම්බන්ධයෙන් වුවද අදාළ ප්‍රශ්නයකි. ආගමික විප්ලව කුමක් වුවත් දේශපාලන විප්ලව ගණනාවක්ම මෙරටේ සිදුවී ඇති බව පැවසිය හැකිය. ඒවා අතර සංස්කෘතික – දේශපාලන වසයෙන් මෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් ද සාහසික වූ අවස්ථා දැකගත හැකිය. පනස් හයේ විප්ලවය සංස්කෘතික හා ඒ සමග බැඳුණු සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයේ විජයග්‍රහණයක් ලෙස ද පිළිගනු ලබයි. එසේම එය ප්‍රජාතන්ත්‍රවාදී හා සාමකාමී විප්ලවයක් ද විය.

මේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයෙන් පසු තරුණ කැරලි ලෙස හැඳින්විය හැකි අසාර්ථක විප්ලව දෙකක් ද ඇත. ඒ 1971 හා 1988 – 89 වසරවලය. අනතුරුව ප්‍රබලම විප්ලවීය සිදුවීම ලෙස අපට කිව හැක්කේ 2022 ගාලු මුවදොර අරගලයයි. ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් හෝ ගවේෂණයක් මෙතෙක් සිදුවී නැත. එහෙත් එහි බලපෑමක් ලෙස ජවිපෙ සන්නාමය සහිත මේ ආණ්ඩුව බලයට පත්වූ බව කිව හැකිය. එය මෙරටේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රයට වේදනාකාරි අත්දැකීමක් ඉතිරි කළ බවද නිසැකය. එහෙත් මේ වනවිට එදා ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද කණ්ඩායම් එක් කඳවුරක් ලෙස සම්මුතියක් ඇති කරගැනීමේ ප්‍රයත්නයක් ද දැකගත හැකිය. පාර්ලිමේන්තුව තුළ නියෝජනයක් පවා නැති තත්ත්වයකට පත්ව සිටින ලංකාවේ ප්‍රධානතම දේශපාලන පක්ෂ දෙක වන එජාපය හා ශ්‍රීලනිපය ද දේශපාලන වසයෙන් විශාල පිබිදීමක් ලබා ඇතැයි ද කිව නොහැක. එසේ වුවද ඒ පක්ෂවලින් බිඳී ආ සජබ හා පොහොට්ටුව සමග එක්ව මේ ආණ්ඩුවට අභියෝග කිරීමට ඔවුන් දක්වන උනන්දුව ද පැහැදිලිය.

කෙසේ හෝ මෙරටේ සමාජ දේශපාලන අංශ උණුසුම් කිරීමට මෙන්ම සියලුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල ද ප්‍රමුඛ අවධානයට ලක්වූ පුවත වූයේ හිටපු ජනාධිපති වරප්‍රසාද අහෝසි කිරීමේ පනතය. පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 150කින් සංශෝධන රහිතව සම්මත වූ පනතට විරුද්ධව ලැබුණේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ ඡන්දය පමණි. පනත පිළිබඳ ඡන්දය විමසන අවස්ථාවේදී සජබ, පොදුජන පෙරමුණ, තමිල් අරසුකච්චි ආදි කිසිදු පක්ෂයක මන්ත්‍රීවරයෙක් සභා ගැබ තුළ නොසිටීම ද කැපී පෙනුණි.

මේ පනත සම්බන්ධයෙන් සමාජය තුළ පැහැදිලි ප්‍රතිචාර දෙකක් දැකගත හැකිය. එකක් වන්නේ ආර්ථික දුෂ්කරතාවක ගිලී සිටින රටක ජනතාවගේ මුදලින් විශ්‍රාමික ජනාධිපතිවරුන් නඩත්තු කිරීම ඔවුන්ගේ ආර්ථිකයට බරක් බවය. අනෙක් ප්‍රතිචාරය විශේෂයෙන් ගොඩනැඟී ඇත්තේ හිටපු ජනාධිපතිවරයකු වන මහින්ද රාජපක්ෂගෙන් පළිගැනීමට ආණ්ඩුව විසින් ගෙනෙන ලද වෛරි පනතක් බවය. ඒ මතය රාජපක්ෂ පාර්ශ්වයේ නිල මතයක් බවද පෙනේ. ඒ පිළිබඳව කරන ලද අවධාරණය දේශපාලනිකව සංවේදී එකක් ද විය. ප්‍රකාශයෙන් දැක්වුණේ අද (පනත සම්මත වීම නිසා) ආණ්ඩුවට විශේෂ සතුටක් තිබෙන බවය. දෙමළ ඩයස්පෝරාව ද එයින් සතුටු වන බවය.

මේ ආණ්ඩුවට එය විශේෂ දෙයක් බව පිළිගත හැකිය. මහින්දගේ විශ්‍රාමික නිවස පිළිබඳ ආණ්ඩුවේ ඇමැතිවරුන් මැදිහත් වූ කථිකාවක් ද තිබුණි. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකටත් ඒ ගැන කරුණු දැක්වීමට සිදුවිය. ආණ්ඩු පාර්ශ්වය කෙබඳු විවේචන කළත් මහින්ද ඔහුට ලබාදී තිබෙන විජේරාම මාවතේ නිවසින් ගියේ ද නැත. එය දේශපාලනික ප්‍රතිචාරයකි. පුළුවන් නම් මාව ඇරපල්ලා යන ආකාරයේ ඒ ප්‍රතිචාරයට පිළිතුරු දීමට ආණ්ඩුවට තිබුණු එකම ක්‍රියාව වූයේ ද නීත්‍යානුකූලව එයට පිළිතුරු දීමය. එය එලෙස සිදුවිය. මෙහිදී මහින්ද වෙනුවෙන් ප්‍රකාශ වූයේ රට ත්‍රස්තවාදයෙන් මුදාගත් නායකයාට අකෘතඥ වීම නොමනා බවය. ඒ වෙනුවෙන් ජනතාවම ඔහුට ණය ගැති බවද තවත් සමහරු කීහ.

මහින්ද නිල නිවසින් යැවීම දෙමළ ඩයස් පෝරාව පිනවීමට කරන දෙයක් බවද සමහරු කීහ. තවත් අදහසක් වූයේ මහින්දගේ ජීවිතයට අනතුරක් එල්ල වුවහොත් එයට ආණ්ඩුව වගකිව යුතු බවය. ඇත්ත වසයෙන්ම මහින්ද පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ වැදගත්ම ප්‍රශ්නය වන්නේ ද ඔහුගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් තිබේ ද යන්නය. මේ පිළිබඳ කිසිදු ගැටලුවක් නැති බවත් අවශ්‍ය නම් තවත් ආරක්ෂාව ලබාදිය හැකි බවත් පාර්ලිමේන්තු විවාදයේදීත් ආණ්ඩුව පැහැදිලිව කියා සිටියේය. ඇත්ත වසයෙන්ම ඔහුගේ ආරක්ෂාව නිසි ලෙස සලසා දීම ආණ්ඩුවේ වගකීමකි. අප දන්නා තරමින් ප්‍රභාකරන්ගේ පරාජය සම්බන්ධයෙන් පසුතැවිල්ලට පත්ව සිටින කණ්ඩායම් මෙතෙර මෙන්ම එතෙර ද සිටිති. කලකට පෙර කිසිවකු නොසිතු මොහොතක ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය වූ අයුරු අපට මතකය. එනිසා කොටි පරාජය වුවත් ඔවුන්ගේ වෛරයට, පළිගැනීමේ මානසිකත්වය අවසන් වී ඇතැයි ද සිතිය නොහැක. ප්‍රභාකරන් ඝාතනය දරාගත නොහැකි රාජ්‍ය නොවන සංවිධාන කොපමණ තිබේද? බටහිර රටවල තවමත් බලවත්ව සිටින දෙමළ ඩයස් පෝරාවේ ශක්තිය ද අවතක්සේරු කළ යුතු නැත. එනිසා ඉහතදීත් සඳහන් කළ පරිදිම මහින්දට ආරක්ෂාව සැලසීම රජයට භාරය.

මහින්ද විජේරාමය හැර තංගල්ලට ගිය ආකාරය ද මාධ්‍යවල දැක්විණි. ඔහුට සමුදීමට කොළඹට පැමිණි අය ඒ යන මඟ දෙපස සිටිනු ද දැකගත හැකිවිය. ඒවා දේශපාලනික ප්‍රතිචාර ලෙස හැඳින්විය හැකිය. ඔහුගේ පාක්ෂිකයන්ට මෙන්ම වෙනත් හිතවතුන්ට ද මහින්ද විජේරාම නිවසින් නික්ම යෑම පිළිබඳ ඇත්තේ ආත්මීය සහකම්පනයක් විය හැකිය. එහි දොසක් කිව නොහැක. අපේ රටේ දේශපාලනය වුවද ප්‍රතිපත්තිමය කරුණු මත නොවූ පුද්ගල කේන්ද්‍රීය එකකි. මෙය තමිල්ණාඩුවේ ද සුලභව තිබුණු පුද්ගල ප්‍රතිරූප වන්දනා දේශපාලනය විනා අන් දෙයක් නොවේ. අද කටවුට් දේශපාලනය දැකගත නොහැකිය. එහෙත් නායක වන්දනාව බැහැර වී නැත. දේශපාලන පක්ෂ විසින් ආමන්ත්‍රණය කරනු ලබන්නේ ද හැඟීම්වලටය. මෙය දේශපාලන වසයෙන් බලද්දී පරිහානියකි. යමක් පිළිබඳ තීරණය ගත යුත්තේ අන්ධව හෝ ගැතිව හෝ නොව හේතු සාධක මත පදනම්වය.

මෙහිදී ජනතාව අවධානය යොමු කළ යුත්තේ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳවය. මේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ට දී තිබෙන වරප්‍රසාද ගොන්න රටේ ආර්ථිකය සමග ගළපා දයාසිරි සූත්‍රයට විග්‍රහ කිරීමට වුවද බැරි නැත. එහෙත් මෙම විවාදයේදී පැවසුණු කරුණු අනුව මහින්දගේ නිවාසයට ලක්ෂ හාර දහසකට අධික මුදලක් වැය කිරීම සාධාරණ ද? විශ්‍රාම ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඔවුන්ගේ නිල කාලය ඇතුළත සම්මත කරගන්නා ලද ඒවාය. ඒවායේ සාධාරණත්වයක් තිබේද? අන්ත දුගී භාවයට පත් ලක්ෂ ගණන් ජනතාවක් සිටින රටක එබඳු නාස්තිකාර වියදම් නැවැත්වීම වරදක් ද? ඒ මහා ධනස්කන්ධය රටේ පොදුජන යහපතට යෙදීම අපරාධයක්ද? දේශපාලනය ගරු සේවයක් ලෙස ආරම්භ වුවද අද එය විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් බවට පත් කරගෙන තිබේ. මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව ජිනීවා යන බව පවසන අය ද සිටිති. වසර විසිපහක් තිහක් රජයේ සේවයේ සිට විශ්‍රාම ගොස් ලැබෙන මුදල බොහෝවිට රු. 40,000කට අඩුය. එහෙත් මන්ත්‍රීකමට වසර පහකට ලැබෙන විශ්‍රාම මුදල රු. 68,000කට නොඅඩුය. මන්ත්‍රී ලෙස ලැබෙන වාහන පෝර්මිට් ඇතුළු තවත් ප්‍රතිලාභ ගණනාවකි. රක්ෂණ හිමිකම් ඇතුළු තවත් වාසි ද හිමි වේ. එහෙව් මන්ත්‍රීලාට හිසට සෙවණක් කුසට අහරක් නැති ජන දුක නොපෙනීම ද පුදුමයකට වඩා ගුණමකු කමකි. රටට හෙණ ගැහුවත් අපට මොකදැයි හිතන දුෂ්ටකමකි.

අනෙක් අතට මෙරටේ දේශපාලනඥයන්ගෙන් බහුතරයක්ම රටට කළ සේවයට වඩා තමන්ටත් තම වර්ගයාටත් බෙදා හදා ගන්නෝ වෙති. ඉකුත් බ්‍රහස්පතින්දා (11) අප පත්‍රයේම වාර්තා කර තිබුණේ වියත්පුර නිවාස සහන වැඩි වසයෙන්ම ලබාගෙන ඇත්තේ හිටපු මැති ඇමැතිවරුන් බවය. ඔවුන්ගේ නම් ද මාධ්‍යවල පළ වී තිබුණි. 2022 ගාලු මුවදොර අරගලයේ දී නිවාස ගිනි තැබූ බව කියමින් විශාල වන්දියක් ගත්තේ ද මැති ඇමැතිවරුන්මය. ඒ අයටත් සහන ක්‍රමයට නිවාස දී තිබේලු! කුමක් වුවත් මේ හැමතැනම දේශපාලන පොරය මොන ක්‍රමයකින් හෝ යමක් ලබාගැනීමට බව ඉතා පැහැදිලිය. කිසිදු විලියකින්, ලැජ්ජාවකින් තොරව මේවා සිදු කිරීමට මේ බොහෝ මහත්වරුන්ට තිබෙන ධෛර්ය ද පුදුම සහගතය. දේශපාලනඥයන්ට ආචාර ධර්ම පද්ධතියක් නැති රටක මේවා සිදුවීම සාමාන්‍ය දෙයකි. අද ඇතැම් දේශපාලනඥයන්ට තමන්ට හිමි වත්කම් ගැන පවා කීමට නොහැකි වී තිබේ.

ඉන්දියාවේ මන්ත්‍රීවරුන්ට හිමි වී තිබෙන වරප්‍රසාද ගැන ප්‍රසාද් රාඕ නමැති ලේඛකයකු විසින් මෙයට වසර කීපයකට පෙර ලියන ලද ලිපියක කොටසක් මෙහිලා දැක්වීම වටී. බදු ගෙවන්නා මත යැපෙන දේශපාලන පෙළැන්තිය ගැන ඔහුගේ අනාවරණය අපට ද අදාළය.

“ආණ්ඩුවේ සේවකයෙක් දිනකදී නියමිත පැය ගණනක් වැඩ කරයි. ඔහුට ලැබෙන්නේ සීමිත නිවාඩු ගණනකි. එපමණක් නොව, ඔහු දැඩි විනයකට යටත් වියයුතුය. වැඩට නොපැමිණීමට පෙර ඔහු නිවාඩු ගත යුතුය.

පාර්ලිමේන්තවට නොපැමිණ සිටීමට මන්ත්‍රීවරයකුට පුළුවන. තේරුමක් නැති කරුණු මත පාර්ලිමේන්තුවේ වැඩ දින ගණන් අඩපණ කිරීමට ද ඔවුන්ට හැකිය. එසේ කළත් ඔවුන්ගේ වැටුප ලැබේ. ආණ්ඩුවේ සේවකයෙක් විශ්‍රාම වැටුපකට හිමිකම් කියන්නේ අවුරුදු 33ක සතුටුදායක සේවයක් ඉටුකිරීමෙන් පසුවය. දේශපාලනය වෘත්තියක් නොව දූත මෙහෙවරක් කරගත් අය පෙර පාර්ලිමේන්තුවල සිටියහ. ඔවුහු පාර්ලිමේන්තුවට ශක්තියක් ගෞරවයක් ලබාදුන්හ. ඔවුහු තම විෂය සීමා තුළ විශේෂඥයෝද වූහ.

අපේ පාර්ලිමේන්තුව ගැන ලිවීම ද ගස් යන වැඩකි. වරප්‍රසාද කෙවිට මානා ගෙන අපට බැට දෙන්නට ඔවුන් එන හැටි විස්තර කළ යුතුද නැත. කුමක් වුවත් අද රටටත් ජනතාවටත් අවශ්‍ය වී තිබෙන්නේ අලුත් හෙටත් හා අලුත් ජීවිතයකි. එහෙත් ප්‍රශ්නය වන්නේ දවසින් දවස ඇවිළෙන සමාජ දේශපාලන ගිනිවලට අමතරව වෘත්තීය සංවිධාන ද ගිනි ඇවිළීමට සූදානම්ව සිටීමය. විදුලි බිල රතු එළි දල්වමින් සිටියි. තවත් ගිනි පුපුරු දියවන්නාවෙහි ද විසි වෙයි. ඒ මොන ගිනි තිබුණත් බඩගිනි ඇවිළීමට නම් ඉඩදිය යුතු නැත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here