ආර්ථිකය ගොඩ ජනතාව තවම වැඩ

0
7

ආර්ථික ස්ථාවරත්වයේ අවස්ථා පොදු ජනතාවට

නොබෝදා නිකුත් වූ ලෝක බැංකු වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ පුණර්ජීවනය ඉතාම ඉහළ තැනෙක තිබේ. බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ පෑ ශ්‍රී ලංකාව පසුව ණය ගෙවාගත නොහැකි රටක් වශයෙන් වර්ගීකරණය වී තිබුණි. ජගත් ප්‍රජාව හදිසි ආධාර සැපැයීය. ලෝක බැංකුව ඉතාම දිළිඳු පවුල්වලට බෙදාදීම සඳහා ආධාර කරන ලද අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාස හතළිස් අටක් දක්වා බලපවත්වන ආකෘතියකට අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණයක් පිරිනමා තිබේ. මෙම කාලසීමාවෙන් හරි අඩක් ඉක්මයන අතර 1980 සිට අද දක්වා ලෝකයේ රටවල් 123 ක දත්ත සලකා බලන පසු ආර්ථිකය ඉතාම ඉක්මනින් නිසි මගට ගැනීමට සමත්වූ රට වශයෙන් ශ්‍රී ලංකාව නම් කර ඇත. වසර තුනක් තුළ සෘණ අගයක සිට ආපසු හැරවීම ඉතාම උත්කර්ෂයට නංවන ලෝක බැංකුව මෙතැන් සිට වර්ධනයක් කරා යා යුතු බව දක්වා තිබේ.

ආර්ථික ස්ථාවරත්වය හා සංවර්ධනය ගැන කරුණු දක්වන නමුත් අනෙක් පැත්තක් ද වේ. ඉතාම දිළිඳු පවුල් සඳහා සපයන අස්වැසුම ආධාර ලබාගැනීම සඳහා මෙරට ජනගහනයෙන් සියයට හැත්තෑවක පිරිසක් ඉල්ලුම් කොට ඇත. අඩු ආදායම් හා ඉහළ ආදායම් ජන කොටස් අතර පරතරය ඉහළ ගොස් තිබේ. තරුණ පිරිස් විරැකියාවෙන් පසුවෙති. ලක්ෂ ගණනින් වෙනත් රටවල අවස්ථා සොයා විදේශ ගතවෙමින් තිබේ. ආර්ථිකය සකසුරුවමට හැරවීම සඳහා ජනතාව වෙත ඉතා අධික බදු පනවන ලද අතර බලශක්තිය, ජලය හා ප්‍රවාහනය ඇතුළු සේවාවලට ගෙවිය යුතු ගාස්තු ඉහළම තැනකට හරවා ඇත. 2026 අය වැය ලබන නොවැම්බර් මුල් සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. වාර්තාගත තැනකට ශ්‍රී ලංකාව හැරවීම සඳහා රටවැසියන් විශාල කැපවීමක් කර ඇත. ඔවුන්ගේ ජීවිතවලට ලිහිලක් ඇතිකරන ප්‍රතිසංස්කරණ ප්‍රකාශයට පත්කිරීම ආණ්ඩුවේ වගකීමකි.

ආදායම හොඳ අතට මැදි ආදායම් ලාභීන් දුකට

මුදල් අමාත්‍යාංශ වාර්තා අනුව 2025 මුල් මාස හය තුළ ආණ්ඩුවේ ආදායම් ඉලක්කය රු. බිලියන 2,241 කි. එය සියයට තුනකින් වැඩි කරගෙන තිබේ. ජනවාරි සිට ජුනි දක්වා මාස හය තුළ රු. බිලියන 996 ක බදු ආදායමක් රේගුව උපයා ඇත. පසුගිය වසරේ සමාන කාල පරිච්ඡේදයට වඩා සියයට 47 කින් ඉහළ ගොස් ඇති බව දැක්වේ. ආදායම් බදුවලින් මෙම මාස හය තුළ අය කරගෙන ඇති මුදල රුපියල් ටි්‍රලියනය ඉක්මවන අතර එය වාර්තාගත ඉලක්කමකි. බදු ගෙවන ටින් අංකය ලබාගත් පිරිස ලක්ෂ එකසිය තිහ ඉක්මවා තිබේ. වාහන ගෙන්වීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදල් වෙන් කරන ආණ්ඩුව එම වාහනවලට පනවන බදුවලින් රුපියල් බිලියන 429 ක් එනම් වියදම් කරන ලද ඩොලර් ප්‍රමාණයට වඩා රුපියල්වලින් උපයා ගෙන ඇත.

වැට්, රේගු බදු, උපයන විට ගෙවන බදු, දුම්කොළ හා මධ්‍යසාර, විශේෂ වෙළෙඳ බද්ද හෝ සන්නිවේදන බදු ආදී වශයෙන් ඕනෑම අයකිරීමක් ගෙවන්නේ පාරිභෝගිකයෝය. ඉන්ධන, ගෑස්, ආනයනික සහල්, පරිප්පු, සීනි, ලොකු ලූනු, අර්තාපල් ඇතුළු සෑම භාණ්ඩයකින්ම රජයේ බදු ප්‍රතිශත ගෙවන්නට ජනතාවට සිදු වී තිබේ. රජයේ සේවකයන් හා විශ්‍රාමිකයන්ට වැටුප් වැඩි කරන ආණ්ඩුව පුද්ගලික අංශයේ ඉහළ වැටුප් සඳහා උපයනවිට බද්ද වැඩි කළේය. පොත් පත්වලට පමණක් නොව පුද්ගලික රෝහලක බිලට ද, හෝටලවලින් ගන්නා ආහාරවලට ද පමණක් නොව එදිනෙදා රී ලෝඩ් කරන දුරකථනයේ ගෙවීම් ද බදුවලට යටත්ය.

රාජ්‍ය ආදායම වර්ධනය වූ පසු බදු ගෙවන ජනතාවට හුස්ම ගැනීමට ඉඩක් දිය යුතුවේ. කෙසේ වෙතත් ලෝක බැංකුව 2029 වසර වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් තවත් සියයට දෙකකින් වැඩිකරගත යුතු බවට උපදෙස් නිකුත් කොට ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරන පරිදි දේපළ බද්දක් ඉදිරියේ දී අනිවාර්යයෙන් හඳුන්වා දිය යුතුය. පුද්ගලයන් සතු දේපළ තක්සේරු කරන අතර වටිනාකම ඉහළ ගිය පසු එම වටිනාකම අනුව බද්දක් අය කෙරෙන ක්‍රියාවලියකි. ඉඩමකින් හෝ නිවසකින් ආදායම් උපයන්නේ නැති සමාජයක් දේපළ බද්දකට ද යටත් කළ හොත් මෙරට මැදි ආර්ථිකයක ජීවත්වන ජනතාව බරපතළ අසරණ තැනකට තල්ලුවන අවදානමක් තිබේ.

බදු වෙනුවට ආර්ථිකය වර්ධනයට පියවර

රට ඇතුළෙන් ධනය උපයන පසු පුරවැසියන් තලා පෙළා ධනය එකතු කිරීමකි. ආර්ථික ප්‍රසාරණයක දී රට ඇතුළතින් ධනය උදුරා ගැනීම වෙනුවට බැහැරින් මුදල් උපයා ගැනීම අවශ්‍යය. ආයෝජන, අපනයන, සංචාරක කටයුතු, විගමණික ප්‍රේශණ, කොටස් වෙළෙඳපොළ වැනි අංශ එහි දී දායකත්වයක් උසුලයි. ආයෝජන මණ්ඩල වාර්තා අනුව ඉහළම ගිවිසුම් ප්‍රමාණයක් අත්සන් කර තිබේ. එහෙත් එම ගිවිසුම් තවමත් ක්‍රියාත්මක නැත.

ප්‍රධාන පෙළේ ආයෝජන වශයෙන් මෑත කාලයේ ක්‍රියාත්මක වෙමින් තිබුණ අදානි සමූහ ව්‍යාපාරයේ සුළං විදුලි බලාගාරය නතර කරන ලද අතර කොළඹ වරාය නගරයේ ව්‍යාපෘති ගණනාවක් නැවත බදු වැඩිකරන හේතුව මත ඉවත් වෙමින් සිටී. හම්බන්තොට ආශ්‍රිතව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක් ආයෝජනයට සූදානම් වූ චීන ඛනිජ තෙල් පිරිපහදුව තවම තීරණයක නැත. ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරට ආයෝජනය අත්හැර තිබේ. ඉන්ධන මිල තරගකාරීව කරගෙන යන්නට ඉඩ නොදීම මෙම සමාගමේ නොසතුටට හේතු වී ඇත. නෙක්ස්ට් ඇඟලුම් ව්‍යාපාරයේ කොටසක් ඉවත්කරගෙන ගියේය. ඩොක්යාඩ් සමාගමේ කොටස් මිලදී ගත් ඉන්දියානු සමාගම එහි නියමිත ආයෝජනය ගැන කල් ගැනීමක් ද අනාවරණය වේ.

ආයෝජනවලින් රටට ධනය ලැබේ. ඒවායෙන් බදු අය කරගත හැකිවේ. අලුතින් රැකියා සැපයෙන අතර වක්‍ර අවස්ථා සැලකිය යුතු ප්‍රමාණයක් නිර්මාණය කෙරේ. මුලින් දක්වන ලද ලෝක බැංකු වාර්තාව ද ශ්‍රී ලංකාව ආයෝජන සඳහා පහසුකම් සැපයිය යුතු බව අවධාරණය කර තිබේ. මෙරට කර්මාන්තකරුවන් ජනාධිපති අනුර දිසානායක මහතා හමු වූ අතර එහි දී ද ආයෝජන අවස්ථා සඳහා ඉඩ ඉල්ලා තිබුණි. නිසි ලෙස බදු ගෙවීමෙන් පසු සහන ඉල්ලන ලෙස ජනාධිපතිවරයාගේ පිළිතුරෙහි කියැවී තිබුණි. පිටතින් ධනය එකතුවුවහොත් ආර්ථිකය ප්‍රසාරණය වේ. ජනතාවගේ පැවැත්ම පහසු කෙරේ. බදු වෙනුවට ආර්ථික වර්ධනයට ඉඩ දෙන වාතාවරණයක් අවශ්‍යය.

අපනයනයෙන් නොගැළපෙන ඉලක්ක හඹායෑමක්

වසර 2030 වන විට ශ්‍රී ලංකාව අපනයනය ඉහළ තැනකට කැඳවීමට අපේක්ෂා කරයි. අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 36 ක් විය යුතු බව දැක්වේ. මෙම අපනයන සඳහා මෙරටින් යැවෙන නිෂ්පාදන ගැන ප්‍රශ්නයක් තිබේ. වැඩිම ඉඩම් ප්‍රමාණයක වගා කර ඇති තේ වලින් ලබාගත හැකි විනිමය ප්‍රමාණය අවුරුද්දකට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 කි. අනෙක් කිසිම කෘෂි අපනයනයකින් මෙපමණ හෝ විනිමය ලැබෙන්නේ නැත. දැනට ප්‍රකාශ වී ඇති පරිදි 2025 අවසානයේ දී මෙරට සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 18.7 කි. මෙම ආදායමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.16 ක කොටසක් සේවා අපනයන බව දැක්වේ.

ඉදිරි වසර පහ ඇතුළත අපනයන ආදායම දෙගුණයක් කිරීමට පවා ඉතාම දියුණු උපායශීලී ක්‍රමවේදයක් අවශ්‍ය කෙරේ. යුරෝපා කොමිසම ශ්‍රී ලංකාවේ අපනයනවලට තවත් කොන්දේසි ඇතුළත් කිරීමට සූදානම් වේ. ඇමෙරිකාව පනවන ලද බදු ප්‍රතිශත අනුව එරටට යැවෙන අපනයනවලට අත්විය හැකි ඉරණම පැහැදිලි නැත. බි්‍රතාන්‍ය මෙරට අපනයන මිල දී ගන්නට සූදානම්ය. එම වෙළෙඳපොළට ප්‍රවේශවීම සඳහා ප්‍රමිති සකස් කළ යුතුව තිබේ. යුරෝපා රටවලට පමණක් ලිහිල් පදනමකින් භාණ්ඩ වර්ග 2,600 ක් යැවිය හැකිය. එය කෙරෙන්නේ නැත. ඉල්ලන ඇඟලුම් පවා අපනයනය කරන්නට ශ්‍රී ලංකාව අසමත්ය.

වැඩිම ජනගහනයක් ජීවත්වන රටවල් වශයෙන් ඉන්දියාව ඉතාම ආසන්නයේ තිබේ. චීනය සමග දැවැන්ත සහයෝගිතාවයක් ඇත. මෙම රටවල් දෙකටම මෙරටින් අපනයනය කරන ප්‍රමාණය ඉතාම අල්ප බව මහ බැංකු වාර්තා පෙන්වයි. ඇඟලුම් අපනයනය ඉතාම වෑයමකින් වර්ධනය කළ යුතු අංශයක් නොවන අතර එම කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට වියදම එයට හේතුවකි. මෙරට ඉඩම්වල ෆාම් ඔයිල් වගාකර එම නිෂ්පාදන අලෙවි කිරීමට අවස්ථාවක් තිබේ. ගෝඨාභය ආණ්ඩුව පනවන ලද තහනම තවමත් ක්‍රියාත්මකය. චීනය සමග කෙසෙල් අපනයනයට ගිවිසුමක් අත්සන් කර ඇත. එරට ඉල්ලුම සැපැයීමට ප්‍රමාණවත් කෙසෙල් වගා කරන්නේ නැත.

සංවර්ධන වේගය අනුව ණය කපාහැරීම සීමාවකට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ලද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ණය ආපසු ගෙවීම සඳහා එකඟතාවයකට ගියේය. දේශීය ණය පියවර කරන අතර ස්ථාවර කරන පිළිවෙළ උදෙසා තීරණ ගැනෙමින් තිබේ. අලුතින් නිකුත් වූ ලෝක බැංකු වාර්තාව ද ණය තිරසාරත්වය හා බැංකුවල අක්‍රමික ණය ගැන වහාම තීරණ ගන්නා සේ සඳහන් කර ඇත. දේශීය ණය යටතේ ණය ගැනීම සීමා කරන අතර මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාවට
නැඟෙමින් තිබේ.

මෙම වසරේ ශ්‍රී ලංකාවට ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.45 කි. එයින් බිලියන 1.36 ක් දැනට ගෙවා ඇත. ආසියානු නිෂ්කාෂණ වෙනුවෙන් ගෙවිය යුතුව තිබුණ ඇමෙරිකානු ඩොලර් බිලියන 952 ක් ද එයට අයත්ය. නියමිතව ඇති ණය ආපසු ගෙවන පසු ජාත්‍යන්තර විශ්වාසය ගොඩනැඟෙමින් තිබේ.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කරන ශ්‍රී ලංකාව ඉකුත් වසරේ දෙසැම්බර් 12 වැනි දින එය නිවේදනය කර ඇත. බැඳුම්කර හිමියන්ගෙන් 98%ක් බැඳුම්කර හුමවාරුව සඳහා කැමැත්ත පළ කර තිබේ. නව බැඳුම්කර හුවමාරු කිරීමේ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ආරම්භ කෙරේ. ශ්‍රී ලංකාව එකඟ වී ඇති ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදය අනුව ණය වලින් කොටසක් කපා හැරීම හා පොලිය අඩු කිරීම ශ්‍රී ලංකාවේ සංවර්ධන වේගයට අදාළව සිදුකෙරේ. 2025 සිට 2027 තෙක් කාලය තුළ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඩොලර් බිලියන 88.6ක සීමාවේ පැවතියහොත් රටට 28%ක ණය කප්පාදුවක් හිමි වන අතර එම අගය ඩොලර් බිලියන 92 ඉක්මවා ගිය හොත් ණය කප්පාදුව 20%ක් වනු ඇත. දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 96ක් වුවහොත් ණය කප්පාදුව 15%ට දක්වා අඩු වේ. පොලිය සම්බන්ධයෙන් තත්ත්වයත් එලෙසය. දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වුවහොත් රටට වැඩි පොලියක් ගෙවන්නට සිදු වේ. වාර්තා අනුව 2028 දක්වා 6%ක වාර්ෂික පොලියකුත් ඉන් අනතුරුව 2038 දක්වා 9.75%ක පොලියක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවේ.

විනිමය රහිතව ණය ගෙවන්නට ක්‍රමවේදයක් නැත

විදේශ විනිමය හිඟය ආර්ථික අර්බුදයට බලපෑවේය. කොවිඩ් වසංගතය සමග ලෝකයේ රටවල් ලොක් ඩවුන් කෙරිණ. විදේශ වෙළෙඳාම බිඳ වැටුණි. ශ්‍රී ලංකාවේ තේ, ඇඟලුම් හා වෙනත් අපනයනවලට ඉලුල්ම පහත වැටීම හා සංචාරකයන්ගේ පැමිණීම බිංදුවට වැටුණු පසු විනිමය ලැබෙන්නේ නැත. මූලික අවශ්‍යතා මිල දී ගැනීමට පවා විදේශ විනිමය නොතිබුණ බව සිහිපත් කළ හැකිය. අත්‍යවශ්‍ය ආනයන නතර කරන ලද අතර රථ වාහන ආනයනය තහනම් කළේය.

කොවිඩ් වසංගතය අවසන් වූ පසු ක්‍රමයෙන් සංචාරකයන් පැමිණීමත් අපනයන කටයුතු ආරම්භ කිරීමත් සහ ජාත්‍යන්තරයෙන් ලැබුණ සහාය සමග විනිමය සංචිතය ප්‍රසාරණයක් විය. ඉන්දියාව මෙරටට ලබාදුන් ආධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන හතර ඉක්මවීය. චීනය ආධාර දෙන අතර තාවකාලික සංචිතයක් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් රඳවන්නට එකඟත්වය පළ කළේය. ආර්ථිකය ස්ථාවර වන අතර සංචාරකයන් ගේ පැමිණීම, අපනයන වර්ධනය හා විගමනික ශ්‍රමික ප්‍රේශණ ඔස්සේ රට අද පවතින තැනට පැමිණ තිබේ. රට අභ්‍යන්තරයෙන් පාලනය කිරීම සඳහා අධික බදු පනවන ලද ආණ්ඩුව ඛනිජ තෙල්, විදුලිය හා ජලය වැනි අංශවල පිරිවැය ආවරණය කරන ආකාරයේ අධික ගාස්තු ක්‍රමයක් හඳුන්වා දී තිබේ. විදුලිය බිල්පත් ගෙවීම ප්‍රමාද කරන පසු පොලියක් අය කරන තීරණයක් දක්වා එය බලවත්ය. අභ්‍යන්තර අය වැය පාලනය කරගැනීම එබඳුය.

කෙසේ වෙතත් ජාත්‍යන්තර බැඳුම්කර ආපසු ගෙවන අතර දේශීය අවශ්‍යතා සඳහා විනිමය වෙනුවෙන් උවමනාවක් ඇතිවේ. සංචාරක ව්‍යාපාරය ස්ථිර පියවරක් නොවේ. මෙම වසරේ ලක්ෂ තිහක් ඉලක්ක කරන ලද නමුත් පැමිණීම ලක්ෂ විසිපහකට අඩු විය හැකි බව කියැවේ. දැනට මෙරටට පැමිණ ඇති පිරිස ලක්ෂ 15 ක් පමණ වේ. සංචාරකයන් අතරින් සියයට 65.4ක් එක් දින සංචාරවල නිරතය. මේ අයගෙන් ආදායම අවිනිශ්චිතය. ණය ගෙවන අතර ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා විනිමය උපයන උපාය මාර්ග වහාම අවශ්‍ය කෙරේ. පරිගණක හා මෘදුකාංග අපනයනය, කෘෂි කර්මයේ වටිනාකම් එකතු කිරීම, ඛණිජ සම්පත් හා ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනය වැනි අංශ කෙරෙහි සැලකිල්ලක් අවශ්‍ය කෙරේ. ජනාධිපතිවරයා දක්වන පරිදි වසර 2030 වන සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 36 ක අපනයන ආදායමක් ඉලක්ක කර ඇත. මෙම විනිමය ආදායම සමග ණය ගෙවීම හා මහජන අවශතා තීරණය විය හැකිය. මහජනතාවට බදු පැනැවීමෙන් පසු අය වැය පියවන ආකාරයට විදේශ විනිමය රටට ලැබෙන්නේ නැත. ආයෝජන, අපනයන හා විදේශ වෙළෙඳාම තරගකාරී කරන ක්‍රමවලට අවතීරණවීම අවශ්‍යය.

ජී. කේ. ජී. සරත්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here