බාල ගල් අඟුරු දහනයෙන් අහිතකර රසායන පහක් පරිසරයටමහජන උපයෝගිතා වාර්තාවකින් කියයි 

0
4

නොරොච්චෝලේ ලක් විජය බලාගාරයට සැපයූ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු දහනයෙන් අහිතකර රසායන වර්ග පහක් පරිසරයට මුදා හැරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිකුත් කළ වාර්තාවක දැක්වෙන බව සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.

එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.

එමගින් සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ්, රසදිය ආම්ලික වායු ඇතුළු වෙනත් බැර ලෝහ හා අහිතකර සංඝටක පරිසරයට වැඩි වශයෙන් මුදා හැරෙන බව කොමිෂන් සභාව පෙබරවාරි 27 වැනිදා නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ඒ අනුව මෙම වාර්තාවේ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ලක්විජය බලාගාරයේ දැනට භාවිත කරන ගල් අඟුරු සැපයුම්කරුගේ ගල් අඟුරු සහ පෙර සැපයුම්කරුගේ ගල් අඟුරු අතර ඇති වෙනස සහ එහි පාරිසරික බලපෑම පිළිබඳවය.

මෙම වාර්තාවට අනුව, වර්තමාන සැපයුම්කරුගේ ගල් අඟුරු භාවිත කිරීමේදී පියාසර අළු ජනනය වීම විශාල ලෙස ඉහළ ගොස් ඇත.

2026 පෙබරවාරි 09, 10 සහ 11 යන දිනවල දත්ත අනුව, දැනට සිටින සැපයුම්කරුගේ ගල් අඟුරු නිසා පරිසරයට මුදාහරින වායු දූෂක ප්‍රමාණයන් ඉහළ ගොස් ඇති ආකාරය ද සාධක සහිතව මෙම වාර්තාවෙන් දක්වා ඇත.

දැනට පවතින ඊසාන දිග මෝසම් සුළං තත්ත්වය නිසා බලාගාරයේ දුම් කවුළුවෙන් පිටවන වායූන් මගින් අවට වාතයේ ගුණාත්මක භාවයට සිදුකර ඇති බලපෑම මෙතෙක් පැහැදිලිව දර්ශනය නොවන නමුත්, මෝසම් කාලගුණය වෙනස්වීමත් සමග මෙම ඉහළ ගිය විමෝචනයන් නිසා අවට වාතය දූෂණය වීමේ දැඩි අවදානමක් පවතින බව මෙහිදී පෙන්වා දී ඇත.

බලාගාරය විසින් ගල් අඟුරු ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රමිතියක් (Coal rejection protocol) ඉදිරිපත් කර ඇතත්, කුමන අවස්ථාවලදී ගල් අඟුරු ප්‍රතික්ෂේප කරන්නේද යන්න එහි පැහැදිලිව දක්වා නැති බවත් පාරිසරික බලපත්‍රයේ කොන්දේසි අනුව, ගල් අඟුරු තොගයක ගුණාත්මකභාවය පරීක්ෂා කර තහවුරු කරන තෙක් ඒවා විදුලි උත්පාදනයට යොදා නොගත යුතු නමුත් දැනට පරීක්ෂණ අවසන් වීමට පෙර ගල් අඟුරු කෙළින්ම භාවිතයට ගැනීම නිසා පාරිසරික බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය වීමේ අවදානමක් පවතින බව ද මෙහි සදහන් වේ.

වාර්තාවේ සඳහන් වන ප්‍රධාන වායු දූෂක වර්ග සහ ඒවායේ තත්ත්වයන් වෙන වෙනම පහත පරිදි පැහැදිලි කළ හැකිය:

සල්ෆර් ඩයොක්සයිඩ් (SO_2)

මෙය වාර්තාවේ දැක්වෙන භයානකම වැඩිවීමය. පෙර සැපයුම්කරුට සාපේක්ෂව නව සැපයුම්කරුගේ ගල් අඟුරු මගින් සිදුවන විමෝචනය 162% සිට 452% දක්වා අති විශාල ලෙස ඉහළ ගොස් ඇත.

අංශුමය ද්‍රව්‍ය (PM – Particulate Matter)

මෙය දුම් කවුළුවෙන් පිටවන කුඩා දූවිලි අංශු වේ. එය 12% සිට 99% දක්වා ප්‍රතිශතයකින් වැඩි වී ඇත

නයිට්‍රජන් ඔක්සයිඩ් (NOx)

NO, NO_2 සහ NOx ලෙස වාර්තාවේ දැක්වේ. මෙය 64% සිට 92% දක්වා ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.

කාබන් මොනොක්සයිඩ් (CO)

මෙය 41% සිට 61% දක්වා ප්‍රමාණයකින් වැඩි වී ඇති බව වාර්තාවේ සඳහන් වේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කියා සිටියේ ද සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ්, රසදිය, ආම්ලික වායූන්, වෙනත් බැර ලෝහ හා අහිතකර සංඝටක මෙම බලාගාරයේ ගල් අඟුරු දහනයෙන් පසු පරිසරයට මුදාහැරෙන බැවින් බලාගාරය ආශ්‍රිතව ජීවත්වෙන ලක්ෂ දෙකකට ආසන්න ජනගහනය වෙත ඍජු සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බවය.

මූලාශ්‍රය – සති අග අරුණ

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here