ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල ඇතුළු රෝහල් සහ ආයතන 38ක් සඳහා ත්‍රිපෝෂ මාස්ටර් බෑග් හාරලක්ෂ අනූතුන්දහස් නවසිය පහක (493,905) අවශ්‍යතාවයක් පැවතිය ද ඉකුත් වර්ෂයේ (2024) බෙදාහැර ඇත්තේ ත්‍රිපෝෂ මාස්ටර් බෑග් දෙලක්ෂ හැත්තෑහතර දහස් එකසියඅනූඅටක් (274,198) බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.
එය මුළු අවශ්‍යතාවයෙන් සියයට 55.51කි. අනුරාධපුර, මහනුවර, නුවරඑළිය, බේරුවල සහ කළුතර යන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල හා ආයතනවල අවශ්‍යතාවයෙන් බෙදාහරිනු ලැබූ ත්‍රිපෝෂ බෑග් ප්‍රමාණය සියයට 50ට වඩා අඩු ප්‍රතිශතයක් බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ මන්දපෝෂණය තුරන්කර නිරෝගී ජාතියක් ගොඩනැගීමේ අරමුණින් පෝෂණ අවශ්‍යතා ඇති සියලු ගැබිනි සහ කිරිදෙන මව්වරුන් ඇතුළු අපේක්ෂිත ප්‍රතිලාභීන්ට ත්‍රිපෝෂ නිෂ්පාදනය කොට නොමිලේ බෙදාහැරීම ත්‍රිපෝෂ සමාගමේ ප්‍රධාන කාර්යභාරය වේ.
ත්‍රිපෝෂ බෙදාහැරීමේ කාර්යය ඉතා අකාර්යක්ෂම ලෙස පැවති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය හා ත්‍රිපෝෂ සමාගම එක්ව ත්‍රිපෝෂ බෙදාහැරීමේ විධිමත් යාන්ත්‍රණයක් සකස්කොට ක්‍රියාත්මක කළයුතු බව ද විගණනය මගින් නිර්දේශ කර ඇත.
ලලිත් චාමින්ද
Saru FM Media