අල්ලස් කොමිසමේ වැටුප් යෝජනාවට මුදල් සභාවේ අනුමැතිය

0
4

අල්ලස් ‍හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ වැටුප් සම්බන්ධ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ, එම සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 10 වෙනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. 

මෙහිදී අදහස් දැක්වූ අල්ලස් හා ‍දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ප්‍රකාශ කළේ, 2023 වසරේදී සම්මත වූ දූෂණ විරෝධී පනත අනුව අල්ලස් ‍හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් කොමිෂන් සභාව නව ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන බවය. 

කොමිෂන් සභාවට අවශ්‍ය නිලධරයන් හා සේවකයන් කොමිෂන් සභාව විසින් පත් කර ගත යුතු බවත් ඔවුන්ගේ පාරිශ්‍රමික සහ සේවා කොන්දේසි මුදල් අමාත්‍යවරයාගේ එකඟතාව සහිතව පාර්ලිමේන්තුවේ අනුමතිය මත තීරණය කළ යුතු බවට විධිවිධාන  සලසා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. 

එසේම 2023 අංක 03 දරන දූෂණ විරෝධී පනත සම්මත වීමෙන් අනතුරුව  මෙම කටයුතු වසර දෙකක් දක්වා ප්‍රමාදවීම පිළිබඳව කනගාටු වන බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.

අල්ලස් හා ‍දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සේවක සංඛ්‍යාව සඳහා අවශ්‍ය තනතුරු 971 සහ විශේෂ දීමනා ඇතුළුව ඔවුන්ගේ වැටුප් ව්‍යුහයන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව හරහා මුදල් අමාත්‍යාංශය විසින් අනුමත කර තිබිණි. 

කොමිෂන් සභාවට අනුයුක්ත නීති නිලධාරීන්ට, නීතිපති දෙපාර්තමේන්තුවට අනුයුක්ත නීති නිලධාරීන්ට සාපේක්ෂව අඩු වැටුපක් යෝජනා කර තිබීම පිළිබඳව කාරක සභාවේ අවධානය යොමුවිය. 

කෙසේ වෙතත් තවදුරටත් ප්‍රමාදයන් වළක්වා ගෙන බඳවා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව මත මේ සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවිය. 

මෙම ආයතනය ශක්තිමත් ආයතනයක් ලෙස ඉදිරියට ගෙන යාම සඳහා ඉදිරියේදී හෝ නිසි වැටුප් තලවල පිහිටුවීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී. 

අල්ලස් හා ‍දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු කොමසාරිස්වරුන්ගේ සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප්තල සම්බන්ධයෙන් යෝජනාව ඉදිරියේදී ගෙන ඒමට නියමිත   බවත්, එහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මීට පෙර නිර්දේශ කරන ලද පරිදි, ඔවුන්ගේ වැටුප්තල අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් තල හා අනුකූල වනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාරක සභාව විසින් සඳහන් කරන ලදී.

කොමිෂන් සභාව ඉතා සංවේදී කාර්යක් ඉටු කිරීමත්,  වෙනත් කිසිදු පෞද්ගලික ඉපයීමක් හෝ උපදේශනයක් භාර ගැනීමට නොහැකි වීමත්, ලැබැඳියාවන් අතර ගැටුම් ඇති වීමටත් ඇති හැකියාව නිසා කොමිසමේ කාර්ය මණ්ඩලය, කොමසාරිස්වරුන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාට රාජ්‍ය අංශයේ වැටුපට සාපේක්ෂව ඉහළ වැටුපක් ගෙවීම සාධාරණ බව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.

මෙම කොමිෂන් සභාව  කොළඹ පමණක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සිදුවීම ගැටලුවක් බව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. 

රට පුරා විමර්ශන සහ වැටලීම් කොළඹ සිට සිදු කළ යුතු වීමත් සාක්ෂිකරුවන් සාක්ෂි සැපයීම සඳහා කොළඹට ගෙන්වීමට සිදුවීම ගැටලුවක් බවත් ඔහු පෙන්වා දුන්නේය. 

මේ හේතුවෙන් ඉදිරියේදී දිස්ත්‍රික්ක මට්ටමින් කාර්යාල පිහිටුවීමේ අපේක්ෂාව ඇති බවත් පළමුව අවම වශයෙන් පළාත් කාර්යාල 9 ක් පිහිටුවීමට අදහස් කරන බවත් ඒ අල්ලස් හා ‍දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here