බලය ලබා ගන්න කළ මැදිහත්වීමට කැපවීමට වඩා දැවැන්ත මැදිහත් වීමක් ඉදිරියටත් අවශ්‍යය – ලාල්කාන්ත – Saru News | සිංහල

0
10

බලය ලබා ගන්න කළ මැදිහත්වීමට කැපවීමට වඩා දැවැන්ත මැදිහත් වීමක් ඉදිරියටත් අවශ්‍යය බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමති ලාල්කාන්ත අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 21 වනදා කොළදී පැවති ශ්‍රේෂ්ඨ විප්ලවවාදයෙකු සෝවියට් රුසියාවේ වී.අයි ලෙනින් වෙනුවෙන් පවත්වන වාර්ශික “ලෙනින්” සැමරුමට එක්වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමති ලාල්කාන්ත,

“අපේ සමාජයේ ‘ලෙනින්ව’ දන්නේ නැහැ. ‘චේ’ තරම්වත්, ‘ෆිදෙල් කැස්ත්‍රෝ’ තරම්වත් අපේ සමාජයේ ලෙනින්ව දන්නේ නැහැ. ලෙනින්ව හංගලා තියෙන්නේ. අපේ රටේ ප‍්‍රතිගාමී බලවේගවල ඇත්තම සතුරා ලෙනින්. අපිට ඇත්තම මිතුරා ලෙනින්. ඒ නිසා තමයි අපිට, ලෙනින්ව සහෝදරයා වෙන්නේ. ඒ නිසා අපි වෘත්තිය සමිති ව්‍යාපාරයක් විදිහට තීරණය කළා, සැඟවී තිබෙන ලෙනින්ව ඉස්සරහට ගේන්න ඕනෑ කියලා. අපි අවුරුදු පහළොවක පමණ කාලය සිට අවුරුදු පතා “ලෙනින් කියවමු” කතිකාව කරනවා.

මෑතකදී අශෝක හඳගම විසින් චිත‍්‍රපටයක් එළි දැක්වූවා. ඒකේ අවසානයේ අහනවාලු,  “විපක්ෂෙ කරනවා වගේ නෙවෙයි නේ, එච්චර ලේසි නෑ නේද ආණ්ඩු කරන එක?” ඒක කෙලින්ම ඉලක්ක කොට තිබෙන්නේ අපිට. ඒ වගේම තවත් ගැඹුරින් දේශපාලනය කරන අපේ මිත‍්‍රයෙක් නිතර කියනවා, “ආණ්ඩු කරන එක ලේසි නෑ නේද?” එහෙම කියන අයට පොඩි උත්තරයක් දෙන්න ඕනෑ. අපේ පක්ෂය වැඩ පටන් ගත්තේ 1965දි. අපි ආණ්ඩු කරන්න පටන් ගෙන අවුරුද්දයි. ඒ කාලයේ අපේ විපක්ෂයේ භාවිතාව ලේසි වුණාද? ඉතාම අසීරුයි. අමාරුයි. අභියෝගාත්මකයි. අපේ පක්ෂ නායකයා අධිකරණ කි‍්‍රයාවලියක් නැතිව මරා දැමුවා. ඒ වගේම මුළු නායක මණ්ඩලයම මරා දැමුවා. 60,000ක් මැරුව බවට සඳහන් වෙනවා. දේපළ විශාල වශයෙන් විනාශ කොට තිබෙනවා. අපේ පක්ෂය තහනම් කළා. අපේ ලංකා ඉතිහාසයේ විපක්ෂ දේශපාලනය කරන කොට තරම් හිංසා, පීඩා, කරදර, අභියෝග තිබී නැහැ. අපේ විචාරකයන්ටත්, චිත‍්‍රපට හදන අයටත්, දැන් විවිධ දේ කියන අයටත් මට කියන්න තිබෙන්නේ ඉස්සරට වඩා අපට ගොඩක් සනීපයි. පහසුයි. අභියෝග තිබෙනවා. විපක්ෂ කරනය අපට අතිශය අමාරුයි, ආණ්ඩුකරණය අපිට අදාළව නම්, ලේසියි. දැවැන්ත කැපකිරීම් මැද, ජීවිත පරිත්‍යාගයන් මැද, පළා යෑම් මැද, ද්‍රෝහීන් මැද, තමන්ගේම සගයන් හැටදාහක් මරාදමා තිබියදීත්, ඒ ඝාතකයන් සමග අනෙක් පැත්තට ගොස් පක්ෂ සාමාජිකත්වය අරගෙන හිටගත් ද්‍රෝහියන් මැද තමයි අපි විපක්ෂයේ කාර්යභාරය කළේ.

ලෙනින් සහෝදරයා මිනිසුන් ගැන විග‍්‍රහ කර තිබෙනවා, පුද්ගලයෙකුගේ කාලයන් අනුව මුල, මැද, අග වෙනස්වීම් ගැන. දේශපාලනයේදී පුද්ගලයෙකුගේ එකම විදිහේ කතාවක් නැහැ. එක් අවදියකදී නිර්ධන පංති, ප‍්‍රගතිශීලී දේශපාලනයත් එක්ක හිටපු සහෝදරයෙක්. තවත් කාලයකදී වෙනත් මත දරපු කෙනෙක්. ලෙනින් ගැන කියවද්දී, ඒ ආකාරයෙන් තමයි අපට මිනිස්සු ගැන විග‍්‍රහ කිරීමට අදාළ කරගෙන තිබෙන්නේ. විවිධ මත දරන අය අපට විවේචනයන් ඉදිරිපත් කරනවා. අපට බලය දී තිබියදීත් ඒ බලය පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි අහනවා. හැබැයි කලාතුරකින් අවස්ථාවකදී අපි විවේචනයක් ඉදිරිපත් කළාම ඒවාට විරුද්ධ වෙනවා. එසේ නොකරන ලෙස ඉල්ලනවා. ඒ අය කුමන ඇඳුමක් ඇඳගෙන හිටියත් අපි ඒ විවේචන එල්ලකරනවා. අපට දේශපාලන විවේචන එල්ල කරද්දී අපිත් කුමන හෝ මොහොතක පෙරළා පහර එල්ල කරන බව ඒ අය දැනගත යුතුයි. අපේම ඇතැම් දෙනෙක් අහනවා 159ක් තියාගෙන මොකද කරන්නේ කියලා. අපි දැන් අරගෙන ඉන්නේ ආණ්ඩු බලය. රාජ්‍ය බලය නොවෙයි. ධනේශ්වර අධ්‍යාපනය ගොඩනඟා තිබෙන්නේ මම කියන ආත්මාර්ථකාමී පුද්ගලයා ගොඩනඟන්න. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කියන්නේත් ධනේශ්වර අධ්‍යාපනයේම දිගුවක් තමයි. මේ අධ්‍යාපනය ඇතුලේ ආණ්ඩුව සහ රාජ්‍යය කියන ආයතන ගැන උගන්වන්නේ නැති පාඩම් ලෙනින් කියවනකොට අපට හමුවෙනවා. සමහර අය එන්.පී.පී රජය කියලා කියනවා. ලෙනින්ව කියවාගෙන තිබුණා නම්, එහෙම කියන්නේ නැහැ. රට, රජය, ආණ්ඩුව කියන්නේ වෙනත් නිශ්චිත ආයතන තුනක් බව අපි හරියටම තේරුම් ගත යුතුයි. ප‍්‍රගතිශීලි අය පවා මේ තුන පටලවා ගන්නවා.

විධායක බලය සහ 159ක් දීල තිබෙන බව බොහෝ විට කියනවා. විධායක බලය ගැන කියද්දීම අපිම සටන් කරලා ඒ බලයෙන් කිසියම් ප‍්‍රමාණයක් කොමිෂන් සභාවලට දීලා තිබෙන බව අමතක කරනවා. විධායක ජනාධිපතිට ඔක්කොම කරන්න පුළුවන් කියලයි හිතාගෙන ඉන්නේ. 13වැනි සංශෝධනය අපි මැදිහත් වෙලා ගෙන ආ 17 වැනි සංශෝධනය සහ එතැනින් ඉදිරියට ගෙන ආ සංශෝධන මගින් විධාක ජනාධිපති ධුරයේ බලය සීමා කරලා සමහර පත්කිරීම් සහ ඉවත් කිරීම් විධායක බලයෙන් කරන්න බැහැ කියලා අමතක කරනවා. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම්, ස්ථාන මාරු කිරීම්, උසස් කිරීම්, විනය කි‍්‍රයාමාර්ග ගේන්නේ රාජ්‍ය සේවා කොමිසමට. ඒ වගේම තව ඉහළ තනතුරු කිහිපයකට පත්කිරීම්, ව්‍යවස්ථා සභාවෙන් කරන බවත් අමතක කරනවා. 159 පාවිච්චි කරලා නැවත ඒ බලතල ලබා ගන්න බැරිද කියලා සමහර අය අහනවා. එහෙම කරන්න ගියොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසියි.

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලට විරුද්ධව විපක්ෂ නායක ඇතුළු පිරිසක් මුලදී ලොකු විරෝධයක් පළ කරලා, ජනතාව ප‍්‍රතිසංස්කරණ ඉල්ලනකොට දැන් විරෝධය පළ කළ අයම ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටිනවා. සමාජයේ විවිධ ස්ථර ගෙන යන අභියෝග හමුපේ අපේ කි‍්‍රයාමාර්ග තේරුම් ගන්න ලෙනින් සහෝදරයාගේ උපුටා ගැනීමක් තිබෙනවා. “අඩියක් පෙරට, අඩි දෙකක් පස්සට යළි වේගයෙන් ඉදිරියට” මේ ආකාරයට අපි කි‍්‍රයාකරමින් ඉන්නේ. ලෙනින්ගේ ‘රාජ්‍යය’ කියලා කුඩා කෘතියක් තිබෙනවා. ඒක හැමෝම කියවන්න. එහෙම නැති වුණොත් දෛනිකව අවශ්‍ය වන දේශපාලන දැනුම් සම්භාරයක් අපට අහිමි වෙනවා. අපි ඉන්න ධනේශ්වර සමාජයේදී ලබා දෙන ධනේශ්වර අධ්‍යාපනයේ පද්ධති ගත අධ්‍යාපනය ඉක්මවා යන්න මේ වැනි කියවීම් අවශ්‍යයි. අපිට තිබෙන ආණ්ඩු බලය රාජ්‍ය බලය ගැනීම දක්වා අරගලය ඉදිරියට කරගෙන යා යුතුයි. ඒ වෙනුවෙන් ලෙනින් කියවීම අත්‍යාවශ්‍යයි. ගෙවී ගිය කාලය තුළ ආණ්ඩුව හැසිරවීමේ බලය මගින් රාජ්‍ය බලයේ යම් යම් සාධනීය වෙනස්කම් ජනවරමට අවශ්‍ය ආකාරයට සිදුකරමින් සිටිනවා. මහජනතාව වෙනුවෙන් තීරණ ගන්න තැන්වලට වැඩකරන පංතියේ සංවිධානයේ කොටසක් වන වෘත්තිය සමිති නායකයන් බහුතරයක් පත්කර ගැනීම අවශ්‍යයි. මේ නිසා 159ක බලය යෙදවීම සම්බන්ධයෙන් මතවාදයක් සමාජය තුළ ගොඩනගන්න  ඕනෑ. පරණ වෙස්මාරු කරගෙන ඔලූව හංගාගෙන ඉන්න පිරිස පරාජය කරන්න නම්, රජය අපේ කර ගන්න  ඕනෑ. එය එක පහරකින් එක පියවරකින් කරන්න බැහැ. ඒ වෙනුවෙන් ප‍්‍රතිසංස්කරණ සිදුකරමින් සමාජ විප්ලවයක් කරන්න  ඕනෑ.

අපි ආණ්ඩු බලය ගත්තේ සමාජයේ බලවේග සංවිධානය කරලා. පක්ෂ එකතුකර ගත්තේ නැහැ. මේ දේශපාලන අවබෝධය අපට දුන්නේ ලෙනින්. එන්.පී.පී. එක ගොඩනැගීමේදී වෙනත් පක්ෂ නෙවෙයි, බලවේග එකතුකර ගනිමින් ඉදිරියට ආවා. ලෙනින් පෙන්වා දී තිබෙන පාඩම් අපි හොඳින්ම කි‍්‍රයාත්මක කර තිබෙනවා. ‘ලෙනින් කියවමු’ කියන පාඨය හොඳින් කි‍්‍රයාත්මක කළ නිසා තමයි එන්.පී.පී.ය ගොඩනැගීමේදී අනෙක් පක්ෂ එකතුකර නොගත්තේ. ලෙනින්ගේ දේශපාලනය දශක තුනකට පමණ සීමා වුණා. සමාජ පරිවර්තනයේදී පරිධියේ රටවල් වෙනුවට යුරෝපයෙන් ආරම්භ විය යුතු බවට තිබූ මතය කි‍්‍රයාමාර්ගවලින් වෙනස් කර පෙන්වූයේ ලෙනින්. ප‍්‍රගතිශීලී විවිධ කණ්ඩායම් කොමියුනිස්ට් පක්ෂය වටා ඒකරාශී කර ගෙන පරිධියේ රටවල්වල ධනේශ්වරයෙන් සිදු නොකළ ප‍්‍රතිසංස්කරණ සිදු කළ යුතු වෙනවා. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කියන්නේත් එයින් එකක්. පසුගාමී ශ‍්‍රී ලංකාව ඇතුළුව 1948න් පස්සෙත් අවසන් නොකළ ධනේශ්වර ප‍්‍රතිසංස්කරණ රාශියක් සිදු කළ යුතුව තිබෙනවා. අපේ රටේ කි‍්‍රයාත්මක වූ පසුගාමී ධනවාදය විසින් සම්පූර්ණ නොකළ සමාජ සංවර්ධනය සම්පූර්ණ කිරීමෙන් තොරව ඉදිරියට යන්න බැහැ. “රනිල්ලා, නොකළ දේවල් මුන් හරියට කරනවා.” කියලා සමහර අය කරන ප‍්‍රකාශයේ ඇත්තක් තිබෙනවා. අපි අඳුරේ අතපත ගානවා නොවෙයි. එන්.පී.පී. එක ගොඩනගලා තිබෙන්නේත් ආණ්ඩුවේ වැඩකටයුතු කරගෙන යන්නෙත් න්‍යායාත්මක පදනමක් ඇතුලේ. රජය අත්පත් කර ගන්න ලොකු කාර්යභාරයක් වැඩකරන පංතියට තිබෙනවා. අනෙකුත් බලවේගවලටත් ලොකු වැඩක් තිබෙනවා. උපක‍්‍රම පාවිච්චි කරන්න ඕනෑ.

ලෙනින්ගේ තෝරා ගත් කෘති වෙළුම් 12න් 10 වැනි වෙළුමේ 134වැනි පිටුව වැදගත් වෙනවා. වාමාංශික කොමියුනිස්ට් වාදය ළදරු වලිප්පුවකි කියලා තිබෙන ලිපිය එදිනෙදා වැඩකටයුතුවලට අත්‍යවශ්‍යයයි. මූලික කරුණු තුනක් එහි අවධාරණය කර තිබෙනවා. විප්ලවවාදී පක්ෂයක විනය පවත්වාගෙන යාම, එය පරීක්ෂා කිරීම සහ එය ශක්තිමත් කිරීම පිළිබඳව අවධාරණය කරනවා. නිර්ධන පංතියේ පක්ෂයේ විනය කියන්නේ පංති විඥානය (පංතියේ මිනිසුන්ගේ දුක වේදනාව තේරුම් ගැනීම, පංතියේ සතුරන් හඳුනා ගැනීම, ඔවුන් පරාජය කිරීම, බලය ගන්න පෙර සහ පසු අවස්ථා දෙකේදීම ඔවුන් පරාජය කිරීම පිළිබඳ අවබෝධය* විප්ලවය කෙරෙහි වූ කැපවීම, නොපසුබස්නා වීර්යය, ආත්ම පරිත්‍යාගය සහ වීරත්වය කියන ගුණාංග කියන අංග පහටයි. ඒ වගේම පක්ෂය සහ ජනතාව සංයෝග විය යුතු බවත් අවධාරණය කර තිබෙනවා. මම මේක සරලින් කිව්වේ ගලූයි සෝඩයි වගේ වෙන්න ඕනෑ කියලා. වැඩකරන ජනතාවගේ පුළුල්තම කොටස් සමග, වැඩකරන ජනතාවගේ නිර්ධන පංතික නොවෙන කොටස්, පොදු ජනතාව සමග සංයෝග වීමට පක්ෂයේ කි‍්‍රයාකාරිකයන් සමීපතම සම්බන්ධතා පැවැත්විය යුතුයි.

නිර්ධන පංතියේ පක්ෂ විනය කියන්නේත් ජනතාව සමග සමීප සංයෝගීතාවයක් පවත්වා ගැනීම අවධාරණය කිරීමයි. ඇමතිවරයා හැටියට මම මුලින්ම කළේ උස පුටුව පැත්තකට දමා නිලධාරීන් එක්ක සංයෝගවීමයි. ධනේශ්වර සංස්කෘතිය ඇතුලෙන් ලබාදෙන අධ්‍යාපනය සහ පුහුනුව කියන්නේ ඉහළ ධූරාවලිවලට උස පුටුවේ ඉඳලාම බලය ආරෝපණය කර තිබීමයි. උස පුටු තියලා පවත්වාගෙන යන ලංකාවේ පරිපාලන රටාව අපිත් පවත්වාගෙන යා යුතු නැහැ. කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිවරයා වෙනුවෙන් ඒ වගේ උස පුටුවක් නැහැ. ලෙනින්ගෙන් ඉගෙන ගැනීමේදී සංයෝග වීම කියන්නේ  පක්ෂ විනයට අදාළ ප‍්‍රධානම කි‍්‍රයාමාර්ගයක්. ප‍්‍රායෝගික දේශපාලනයේදී ලෙනින්ගෙන් ඉගෙන ගත යුතු බොහෝ දේ තිබෙනවා. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලදී විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට සාමූහික මොඩියුල කි‍්‍රයාකාරකම් හඳුන්වාදී තිබෙන්නේ ගැඹුරු දේශපාලන අර්ථයක් ඇතිවයි. අපේ අම්මා කුස්සිය පිටුපස මාළු කපනකොට පූසා, බල්ලා, කපුටෝ වටවෙනවා. මාළුවාගේ වරල් ඇතුළු කපලා ඉවත් කරන කොටස් කන්න එන මේ සතුන්ගෙන් පූසා අනෙක් කිසිදෙයක් නොතකා උගේ පාඩුවේ අර ඉවත දමන කොටස් කාගෙන යනවා. ලෙනින් සහෝදරයා “වස්කා නමැති බළලා ඇහුම්කන් දෙයි. එහෙත් ඌ කාගෙන යයි” කියන සරල උදාහරණය අපිත් ප‍්‍රායෝගිකව භාවිතයට ගන්නවා. ලෙනින්ගේ වගන්තියේ සංදර්භයෙන් ගලවලා අරගෙන වෙනමම ගන්න එපා. තම අරමුණු වෙනුවෙන් කි‍්‍රයාකරන හැටි ලෙනින්ගේ මේ සරල ප‍්‍රකාශයේ තිබෙනවා. අපිත් ජන වරමට අනුව අරමුණු සමග දිගටම කි‍්‍රයාකරන අතර, අනෙක් අයටත් ඇහුම්කන් දෙමින් යනවා.

අද අපේ දේශපාලනයත් එක්ක යම් ගැලපීමක් සහිතව ලෙනින් සම්බන්ධයෙන් කියවා ගන්න මූලික පෙළඹවීමක් කරන්නයි, මේ අදහස් දැක්වීමේදී උත්සාහ කළේ. “ඉගෙන ගනිමින් වැඩ කරන්න. වැඩ කරමින් ඉගෙන ගන්න” කියලා දුන්නෙත් ලෙනින් සහෝදරයා. අපි ආණ්ඩුකරණයේදී කරන්නේ මේ දේමයි. අපි දිනපතාම ඉගෙන ගන්නවා, වගේම ඇන ගන්නවා. ඒ හැමදේකින්මත් ඉගෙන ගන්නවා. එහෙම නැතිව මේ ගමන යන්න බැහැ. ප‍්‍රායෝගිව මේ සමාජය වෙනස් කරන්න තිබෙන්නේ මේ ආකාරයෙන්. “න්‍යායක් නොමැති භාවිතාව අන්ධයි. භාවිතයක් න්‍යාය වඳයි” කියල තියෙන්නෙත් ලෙනින්. ලෙනින් පොතේගුරුවාදියෙක් නොවෙයි. පක්ෂය අවධාරණය කරමින් ඉහළින්ම තබා කි‍්‍රයාකරන්න ආදර්ශ රැසක් ලබාදී තිබෙනවා. පක්ෂය ගැන මේතරම් අවධාරණය කරන්නේ 1871දී වැඩකරන පංතිය පැරිස් නගරයේ බලය අල්ලාගෙන දින 72ක පාලනය ගෙන යාමෙන් පසුව ධනපති පංතියෙන් එය මර්දනය කිරීම අත්දැකීම් කරගෙනයි. පැරීසියේ බලය රැකගන්න දියුණු පක්ෂයක් පිහිටුවාගෙන සංවිධානාත්මකව ගොඩනගා තිබුණේ නැහැ. ඒ නිසයි කැපකිරීම්, විනය, ධෛර්යය, ආත්ම පරිත්‍යාගය සහ වීරත්වය එක් වුණු පක්ෂයක අවශ්‍යතාවය න්‍යායිකව හඳුන්වා දුන්නේ. පක්ෂයේ වැදගත්කම ආසන්න උදහරණයකින් පෙන්වා දෙන්නමි. දිලිත්ලා, සජිත්ලා ඇතුළු පිරිස මතුගම නගරයේ උද්ඝෝෂණයක් කරන බව දැනගෙන පැය හයක් ඇතුළත සහෝදරියන් 2000කට වැඩි පිරිසක් උද්ඝෝෂණයකට බැස්සේ පක්ෂය නිසයි. පක්ෂයක් නොතිබෙන්න ක්ෂණිකව මෙවැනි හැරවුම්, මැදිහත්වීම් කරන්න බැහැ.

අපි ආණ්ඩු බලය ලබාගෙන රාජ්‍ය යාන්ත‍්‍රණයක් එක්ක වැඩ කරනවා. ද්විත්වා ආපදාවේදී ආණ්ඩුව සහ රජය ඉතා හොඳින් වැඩ කළා. ඒ වගේම සමහර තැන්වල ආණ්ඩුව නැතිවත් රජය හොඳින් වැඩ කළා. එයින් කියැවෙන්නේ මුලින් කෙසේ වුවත් මේ වන විට කලින්ට සාපේක්ෂව රජය කියන ආයතනය ආණ්ඩුවත් එක්ක ධනාත්මකව වැඩ කරන ප‍්‍රමාණය ඉහළ ගොස් තිබෙන බවයි. මේ ආයතන දෙක අන්තර් විනිවිද යන්න ඕනෑ. තවමත් එය අවශ්‍ය ආකාරයට සිදුවී නැතත් ඉදිරියේදී අන්තර් විනිවිදීම ශක්තිමත් කර ගත හැකියි. මේ රටේ ජනතාවගේ උවමනාවන් හොඳින්ම කි‍්‍රයාත්මක කරන්න නම් ආණ්ඩුව සහ රජය හොඳින්ම ඒකාබද්ධ විය යුතුයි. තවමත් අකාර්යක්ෂමතා, වංචා දූෂණ ඉහවහ ගිය නිලධාරීවාදය තිබෙනවා. බොල්ෂෙවික් පක්ෂය මූලික කරගෙන දැවැන්ත ජනතා ව්‍යාපාරයක් ගොඩනගා ආණ්ඩු බලය අරගෙන ඉස්සරහට යමින් සම්පූර්ණ කර ගැනීමට අඛණ්ඩ මැදිහත්වීම් රැුසක් තවදුරටත් කළ යුතුව තිබෙනවා. බලය ලබා ගන්න කළ මැදිහත්වීමට කැපවීමට වඩා දැවැන්ත මැදිහත් වීමක් ඉදිරියටත් අවශ්‍යයි. කනගාටුවට කරුණක්ව තිබෙන්නේ බලය ගන්න කළ කැපීවීමේ තරමට වඩා මැදිහත් වීමක් සහ කැපවීමක් දැන් තිබෙනවාද කියන එකේ සමහර ඉල්ලීම් සහ අදහස් දැක්වීම්වලදී දැනෙනවා. එය නිවැරදි කර ගත යුතුයි.” යැයි පැවසීය.


3

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here