මනුෂ්‍යත්වයට ගරු කරණවානම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව විශේෂයෙන්ම කතා කිරීමට අවශ්‍ය නැහැ – ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – Saru News | සිංහල

0
4

මනුෂ්‍යත්වයට ගරු කරන්නට හැකි නම්, මනුෂ්‍යත්වය ඉහළින්ම තබන්නට හැකි නම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව විශේෂයෙන්ම කතා කරන්නට අවශ්‍ය වන්නේ නැති බව කම්කරු ඇමති සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි. 

ඔහු මේ බව පැවසූවේ, කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යයන්තර කාන්තා දින සැමැරුම් උත්සවයට සමගාමීව ඊයේ (11) නාරාහේන්පිට “මෙහෙවර පියෙස” ගොඩනැගිල්ලේ පැවැති උත්සවයේදීය.

ජාත්‍යයන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂිකා ජොනි සිම්ප්සන්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටි අතර එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු ඇමති සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු,

“මෙවර ජාත්‍යන්තර කාන්තා සැමරුම් තේමාව (Right – Justice & Actions) අයිතිවාසිකම්, සාධාරණත්වය සහ ක්‍රියාමාර්ග යන්නයි. මේ පිළිබඳ කිසිදු විවාදයක් කාටවත් නැහැ. අයිතිවාසිකම්, සාධාරණත්වය සහ ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග කාන්තාවන් වෙනුවෙන් ගත යුතු වෙනවා. අපේ දේශපාලන තේමාවත් පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්.  ඒ් තේමාව මල්ඵල ගැන්වෙනකොට කිසිදු ආකාරයක අයිතිවාසිකම් පිළිබඳ, සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්න ඉතුරු වෙන්න බැහැ. ඒවා ටිකෙන් ටික විසඳිලා එන්න ඕනේ. එවැනි සමාජයක ආයේ අලුතින් අයිතිවාසිකම් හෝ සාධාරණත්වය පිළිබඳ කතා කරන්න දෙයක් නැහැ. සියල්ල ඉෂ්ඨ වෙනවා. පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ගත කරන්න, සුන්දර ලෝකයක් ගැන ප්‍රාර්ථනා කරන්නේ, ඒ වෙනුවෙන් තමයි වැඩ කටයුතු කරන්නේ.

ඒත් අපිට මේවා ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි අයිතිවාසිකම්, සාධාරණත්වය පිළිබඳ කතා කළොත් කාගෙන්ද මේ අයිතිවාසිකම් ඉල්ලන්නේ? කාගෙන්ද සාධාරණත්වය ඉල්ලන්නේ? කවුද සාධාරණත්වය නොදී ඉදලා තියෙන්නේ? කවුද ඒ අයිතිවාසිකම් නොදී හංගන් ඉදලා තියෙන්නේ? කියන ප්‍රශ්නය ඇහුවොත් අපි ටිකක් ගැටලුවකට මුහුණ දෙනවා. මෙතන ඉන්න කවුරුත් ඒ අයිතිවාසිකම්වලට, ඒ සාධාරණත්වයට විරුද්ධ ද? නැහැ. අපි කවුරුත් කියන්නේ ඒක ඕනේ කියලා. මීට වඩා ලොකු ෆෝරම් එකකට ගියොත් දිස්ත්‍රික්කයකට, අමාත්‍යාංශයකට, ඕනේම ආයතනයකට ගිහින් කතා කළොත් ලෝක පරිමාණයෙන් කවුරුහරි පුද්ගලයෙක් නොපැකිලිව නොබියව, කාන්තාවන්ට එහෙම අයිතිවාසිකම් දෙන්න ඕනේ නැහැ කියලා කියනවා නම් කියන්න ඕනේ ඉතාම අතලොස්සක්. එහෙම කෙනෙක් හොයාගන්න බැරිවෙයි. සමහරවිට අන්තවාදී එක්කෙනෙක් දෙන්නෙක් කියන්න පුළුවන් කාන්තාවන්ට එහෙම අවශ්‍ය නැහැ. එයාලා යටත් වෙලා ඉන්න ඕනේ කියලා තර්කයක් ඉදිරිපත් කරන්න ඕනේ කියලා. නමුත් අද අපි ජීවත් වෙන තාක්ෂණය දියුණු වුණු සමාජයේ මානවයාට ගරු කරන සමාජයේ මනුෂ්‍යත්වයට ගරු කරන සමාජයේ විවිධ දේවල් තියෙන සමාජයේ කවුරුත් ඒකට විරුද්ධ නැහැ. විරුද්ධ නැත්නම් ඒවා ස්ථාපිත වෙලා තියෙන්න ඕනේ. හැබැයි විරුද්ධ නැති වුණාට ප්‍රශ්නයක් තියෙනවා, අයිතිවාසිකම් ටිකත් නැහැ, ඒ පිළිබඳ ප්‍රශ්න අනන්ත තියෙනවා.

පළමුකොට මේ කටයුත්ත කරන ගමන්ම අර ප්‍රශ්නය පිළිබඳ දැනුවත්භාවයක් තියෙන්න ඕනේ. කවුද මේ වැඩේ නවත්තලා තියෙන්නේ. අපිට පේන්නේ නැතිවෙන බලවේගයක් ද? අපිට පේන්නේ නැති අදෘශ්‍යමාන බලවේගයක් විසින් ද මේ වැඩේ කරන්නේ? කියන ප්‍රශ්නය ඇහුවොත් අපිට හොයාගෙන යන්න වෙනවා මෙය ගැටගැහිලා තියෙනවා මේ සමාජය විකාශය වෙන හැටි, සමාජ ක්‍රම ගොඩනැගෙන හැටි, ආර්ථිකය ගොඩනැගෙන හැටි, ආර්ථික බලය ගොඩනැගෙන හැටි, ධනය ගොඩනැගෙන හැටි, දේශපාලන බලය ගොඩනැගෙන හැටි මෙතනට ගැබ් වෙලා තියෙනවා.

ඒවා තමයි කොහෙන් කොහෙන් හරි නියෝජනය කරන්නේ. අන්න ඒ උඩින් තියෙන පද්ධතීන් විසින් තමයි මෙය අත්පත් කරගෙන තියෙන්නේ. ඒ පද්ධතීන් කොහේ හෝ නියෝජනය කරනවා. අපේ වගකීම වෙන්නේ එවැනි සමාජයක අන්න ඒ පද්ධතීන් ඇතුළේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ටික පියවරෙන් පියවර කරන්න. අමාත්‍යවරයා විදිහට, නිලධාරීන් විදිහට විවිධ බලයන් හොබවන අය. ඒ නිසා තමයි සමහර තැන්වලදී ඒවාට සීමාවන් පැනවෙනවා. නීතිරීති පද්ධතිය ඇතුළේ දී අපි කැමති වුණත් අකැමැති වුණත් මේ ස්ථාපිත වෙලා තියෙන නීතිරීති පද්ධතියක් ඇතුළේ වැඩ කටයුතු කරද්දී සමහර දේවල් අපිට කරකියා ගන්න බැරිවෙලා තියෙනවා.

කාන්තාවන්ගේ අයිතිවාසිකම්, සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්න. සරලම උදාහරණය, ලේකම්තුමා සඳහන් කළා, කාන්තාවන් රෑට වැඩ කරන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. නීතියෙන් තහනම්. මං අපේ නියෝජ්‍ය ඇමතිතුමාගෙනුත් ඇහුවා, කොහේ හෝ නීතියේ තියෙනවාද පිරිමින්ට රෑට වැඩ කරන්න තහනම් කියලා. ඒකෙන් මොකක්ද කියවෙන්නේ? ඒකෙන් ගම්‍ය වෙන අර්ථයක් තියෙනවා, පිරිමින්ට ඕනේ තරම් රෑට ඇවිදලා යන්න පුළුවන්. ගැහැණුන්ට වැඩ කරන්න යන්න බැහැ. ඒකෙ අනිත් පැත්ත තමයි, ගැහැණු රෑට වැඩ කරන්න ගියොත් ගැහැණුන්ට ආරක්ෂාව පිළිබඳ ගැටලු වෙන්න පුළුවන් කියන එක. කාගෙන්ද ආරක්ෂා වෙන්න ඕනේ. අපිට අණපණත්වලටත් දාන්න සිද්ධ වුණා. කාන්තාවන්ට වැඩ මුරය සඳහා අවසර දෙනවා. හැබැයි සේවායෝජකයා විසින් සහතික වෙන්න ඕනේ ඇගේ ආරක්ෂාව. ඒ කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා, ආරක්ෂාව නැති කරන පරිසරයක් කොහේ හෝ තියෙනවා. ඇයට ආරක්ෂාව සහිතව ගෙදර යන්න ප්‍රවාහන පහසුකම් ටික සපයලා දෙන්න, ඒ ආරක්ෂාව නැති කරන්නේ මේ ක්‍රමයත් එක්ක පැන නැගිලා ඉන්න අපේ මේ මිනිස්සුම තමයි. ඒ නිසා නිරන්තරයෙන් තවත් මනුස්සයෙක් තවත් මනුස්සයෙක්ගේ ගොදුරක් තවත් මනුස්සයෙක්ගේ පීඩාවට පත්වෙන පරිසරයක් නිර්මාණය වෙලා තියෙන පරිසරයක අපිත් අඩුවැඩි වශයෙන් කොටස්කරුවෝ වෙලා තියෙනවා.

අපේ ආණ්ඩුව පිළිබඳව විවිධ අර්ථකතන තියෙනවා. අපි විවිධ අභියෝග රාශියක් මැද ආණ්ඩුව ගත්තේ. අපි ස්ථාවර කරගෙන ඒ මට්ටම අරගෙන ඇවිල්ලා ආයෝජකයන් කැන්දන්න පුළුවන් තැනකට රට ගෙනල්ලා තියෙනවා. ඔබ කවුරුත් දන්නවා අපි ලෝක දේශපාලන භූමිකාවක් කරන රටක් හෝ ලෝක දේශපාලනේ කොටසක් අත්පත් කරගන්න ඕනේ රටක් නෙමෙයි. අපි ඉතාමත්ම රාජතාන්ත්‍රික මට්ටම, බොහොම මධ්‍යස්ථ තැනක ඉදලා කටයුතු කරන්නේ. ඒක තමයි අපේ උපාය මාර්ගය. ලෝකෙ තියෙන සියලු ආයෝජකයින් මෙතනට කැන්දගෙන එන පරිසරය සකස් කරගන්න එක. අපි කාවවත් පරසතුරු ආකාරයකට රාජතාන්ත්‍රිකව හැසිරෙන්නෙත් නැහැ. කාගෙවත් රටක්, දෙකක් බදාගන්නෙත් නැහැ. ඉතාමත් නිවැරදි රාජතාන්ත්‍රික ක්‍රමයක් අනුගමනය කරනවා. එවැනි තත්වයකදී අපි කවුරුත් අකැමැති වුණත් ලෝකයේ යුධමය තත්වයක් නිර්මාණය වෙනවා. ඒ යුධමය තත්වය නිර්මාණය වෙලා අපේ මුහුදු කලාපයට යටින් තියෙන ආර්ථික කලාපය හරහා තියෙන ඉරාන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වුණා. තවත් නැවක් අපෙන් ආධාර ඉල්ලා සිටියා, ඇතුළට ගන්න කියලා. එතනදී අපිට තිබෙන නීතිරීති රාමුව ඇතුළේ එය කරන්න සිද්ධ වුණා. කිසිඳු පාර්ශ්වයක් සතුරු කරගන්නෙත් නැතුව, කිසිදු පාර්ශ්වයක් අනවශ්‍ය විදිහට මිතුරු කරගන්නෙත් නැතුව. ඒ යුද්දේ කොටස්කරුවන් බවට පත් නොවී රාජතාන්ත්‍රික මට්ටමින් කොහොමද මැදිහත් වෙන්නේ කියලා, විශේෂයෙන් ගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීම හරහා ඒ කටයුත්ත නිසි පරිදි කළා. එහිදී ඔහු ඉදිරිපත් කළ කතාවේදී කිව්වා, අපි මේ කාරණය රාජතාන්ත්‍රිකව මැදිහත් වෙලා නීතිරීති රාමුව ඇතුළේ කළා. ඒ සියල්ලටම වඩා එකක් ඉහළින් තියෙනවා. ඒ තමයි මනුෂ්‍යත්වය. අපි කිසිම මොහොතකදී මනුෂ්‍යත්වයට විරුද්ධව වැඩ කටයුතු කරන්නේ නැහැ. මං හිතන්නේ ඒක විශිෂ්ඨ ප්‍රකාශනයක්. එතකොට අපිට අවශ්‍ය කරන්නෙ මෙන්න මේ මනුෂ්‍යත්වය කරා යන ගමනට පියවරෙන් පියවර අඩිතාලම දාන එක. ඉතින් අමාත්‍යාංශය වශයෙන් ගත්තාම ඒ වෙනුවෙන් අපි විවිධ ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ගනිමින් ඉන්නවා. නීතිරීති අණපණත් සම්පාදනය කරගැනීම කියන කාරණය කරලා තියෙනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධාන සහ තවත් ආයතන එක්ක එකතුවෙලා වැඩ කිරීමේදී වැඩ කරන්න පුළුවන් හොඳ පරිසරයක් ප්‍රචණ්ඩත්වය හා හිරිහැර ගැන කතා කරනවා. අපිට ඒවා ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපිට එහෙම ඒවා කතා කරන්න වෙන්නේ එහෙම ඒවා තියෙන්න පුළුවන්. හැබැයි එහෙම ඒවා තියෙන්න බැහැ. අපි එහෙම ඒවා තියෙනවා කියලා උපකල්පනය කරලා තමයි, ක්‍රියාමාර්ග ගන්නේ. තව කෙනෙකුට අපි ගරු කරනවා නම් ඇත්තටම මේ පිළිබඳ නීති අවශ්‍ය වෙන්නේ නැහැ.

තාක්ෂණය සහ රැකියා අවදානම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නවතම දත්ත පෙන්වා දෙන්නේ, ජනක කෘතිම බුද්ධිය (Generative AI) හේතුවෙන් ලොව පුරා රටවල් 88ක කාන්තාවන් පිරිමින්ට වඩා රැකියා අවදානමකට නිරාවරණය වී ඇති බවයි. මෙයට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ කාන්තාවන් වැඩි වශයෙන් ලිපිකරු, පරිපාලන සහ සහායක භූමිකාවන්හි නියුතු වීමයි. එම රැකියා බොහොමයක් ස්වයංක්‍රීයකරණය හරහා ප්‍රතිස්ථාපනය වීමේ වැඩි ඉඩක් පවතින බැවින්, මෙම වෘත්තීය වෙන්කිරීම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කෙරිණි.

ප්‍රතිපත්තිමය ජයග්‍රහණ – ගරු අමාත්‍යවරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව විසින් ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම් පිළිබඳ ILO අංක 190 දරන සම්මුතිය අපරානුමත කිරීම අගය කරමි. මෙමගින් සෑම සේවකයෙකුටම හිරිහැරවලින් තොර ආරක්ෂිත සේවා පරිසරයකට ඇති අයිතිය තහවුරු වන අතර, එහි ප්‍රතිලාභ සෑම අංශයකටම ලැබෙන සේ ක්‍රියාත්මක කිරීම දැන් පවතින ප්‍රධාන අභියෝගයයි.

සත්කාරක ආර්ථිකයේ වැදගත්කම නොගෙවන සත්කාරක වැඩ (Unpaid Care Work) කාන්තාවන්ගේ කර මත පැටවීම ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරයි. සත්කාරක සේවා සඳහා ආයෝජනය කිරීමෙන් 2035 වන විට නව රැකියා 860,000කට අධික ප්‍රමාණයක් බිහි කළ හැකිය., එමගින් කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවිය හැකිය.

වැඩ ලෝකයේ සමානතාවය ඇති කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය රජය සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ එක්ව පහත ප්‍රමුඛතා වෙනුවෙන් පෙනී සිටීනවා.

ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය නැති කිරීම.

STEM (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, ගණිත) සහ හරිත අංශ සඳහා කාන්තාවන්ට ඇති ප්‍රවේශය පුළුල් කිරීම.

මාතෘ ආරක්ෂාව සහ පවුල් හිතකාමී සේවා ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම.

තීරණ ගන්නා මට්ටම්වල කාන්තා නියෝජනය සහ හඬ සහතික කිරීම මේ අතර වෙනවා.

ස්ත්‍රී පුරුෂ සමාජභාවිතය සමානතාව ඇතිකිරීම අහම්බෙන් සිදු නොවන්නක් වන අතර එය සිදුවන්නේ සැලසුම් සහගතව, එනම් නිවැරදි ප්‍රතිපත්තිමය තේරීම් සහ අඛණ්ඩ කැපවීම් හරහා පමණි,” යැයි අවසාන වශයෙන් අවධාරණය කෙරිණි.

විශේෂයෙන්ම අපේ ආණ්ඩුවේ වුවමනාව සහ උත්සහය වන්නේ කාන්තාවන් ලෝකය හා ඉදිරියට යා හැකි කාන්තාවන් බවට ගොඩනැඟිමයි. ඒ වෙනුවෙන් ගෙවුණු වසර එකහාමරක කාලය තුළ යම් වැඩකොටසක් කර තිබෙනවා. ඔබ දන්නවා ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තුවේ වැඩිම කාන්තා නියෝජනය මෙවර තියෙනවා. ආසන්න වශයෙන් ගත්විට 10%ක් කාන්තාවන් නියෝජනය වෙනවා. මේ කාන්තා නියෝජනය තවත් ඉහළ දාන්න ඕනේ. එය තියෙන්නේ ඔබේ අතේ. ඒ වගේම පළාත් පාලන ආයතනවල 8,000කට වැඩි මන්ත්‍රීවරුන්ගෙන් 2,000කට වැඩි මන්ත්‍රීවරියන් ඉන්නවා. එහි යම් නීතියක් තිබෙනවා. එනම් 25%ක් කාන්තාවන් සිටිය යුතුයි කියලා. මම හිතනවා ඒ සංඛ්‍යාවත් තව ඉහළ යා යුතුයි කියලා.

ජාත්‍යයන්තර කාන්තා දිනය නිමිති කරගෙන පසුගියදා පාර්ලිමේන්තුවේ සංවාදයක් තිබුණා. සහෝදර මන්ත්‍රිවරියක් ප්‍රකාශ කළා අපේ රටේ විවිධ තනතුරුවල විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ 22කට වැඩිය කාන්තාවන් නියෝජනය වෙනවා කියලා. අපේ කම්කරු අමාත්‍යංශයෙත්, දෙපාර්තමේන්තුවෙත් නායකත්වය දෙන පිරිස අතර කාන්තාවන් සැලකිය යුතු පිරිසක් ඉන්නවා. කම්කරු කොමසාරිස්තුමිය කාන්තාවක්. පළමු වතාවට විභාග කොමසාරිස්වරිය වන්නේ කාන්තාවක්. ඇය සුභාෂිනි ලියනගේ. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යංශයේ ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස්තුමිය කාන්තාවක්. සුභාෂිනි දෙමටගොඩ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමිය කාන්තාවක්. මෑතකදි පත්වූ විගණකාධිපතිවරිය කාන්තාවක්. රටේ රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක ප්‍රධාන තනතුරු දරන්නේ කාන්තාවන්. පෞද්ගලික අංශයේත් සැලකිය යුතු පිරිසක් විවිධ තනතුරුවල නියැලුනත් කාන්තාවන්ගේ නියෝජනය ප්‍රමාණවත් නැහැ.එය තවත් ඉහළට යායුතුයි. ඒ නිසා එක පැත්තකින් පෞද්ගලික හා රාජ්‍ය අංශයේ වැඩකරන ක්ෂේත්‍ර තුල කාන්තා නියෝජනය වැඩි කිරිීමට අපි අධිෂ්ඨාන කරගත යුතුයි.

කාන්තාවන් පිළිබඳ ඉතිහාසය පුරා තිබූ නිර්වචන වෙනස් කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒ තත්වය යහපත් දිශාවට වෙනස් වෙමින් යනවා. එය සතුටට කාරණයක්. මක්සීම් ගොර්කි කියනවා මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ හිරුගේ කිරණින් සහ මවගේ කිරිවලින් කියල. ඒ කියන්නේ ඒ තරම් ප්‍රබල තීරණාත්මක වැඩ කොටසක් ඉටු කරන චරිතයක්.

ආපහු හැරිලා බැලුවොත් ඒ තැන ඇයට හිමිවෙලා තියෙනවද කියල බලන්න ඕනේ. ලක්ශාන්ත තරුණ කවියා කියනවා “වැඩ ඇරි වැඩට යති ගැහැණු” කියලා. ඒ තත්වයෙන් ඇයව මුදව ගන්න ඕනේ. ඒක පුළුල් සාකච්ඡාවක්. ඒ වෙනුවෙන් ආණ්ඩුවක් විදියට අපි පියවර තබා තියෙනවා.

කාන්තාවගේ අයිතිවාසිකම් රැක ගැනීම වෙනුවෙන් විවිධ නීති අණපනත් තියෙනවා. කම්කරු නීති සංශෝධනවලදි වැඩ කරන කාන්තාවගේ වෘත්තිය අයිතිවාසිකම් සුරකින, ඇයගේ ආරක්ෂව සැලසෙන සංශෝධන ගැන අපි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

මෙහිදී කම්කරු අමාත්‍යංශ ලේකම් එස්.එම් පියතිස්සද අදහස් දැක්වීය.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here