වසරකට අලුත් පිළිකා රෝගීන් 33,000ක් – මරණ 19,000ක්

0
12


මෙරටින් වාර්ෂිකව පිළිකා රෝගීන් 33,000 කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය අංශ මගින් අලුතින් හදුනා ගන්නා බවට අනාවරණ වී තිබෙනවා.

ඉන් බහුතරයක් මුඛ පිළිකා සහිත පිරිමි පුද්ගලයින්.

පියයුරු පිළිකාවට ගොදුරු වන  කාන්තාවන්ද ඒ අතර ප්‍රධානයි.

පිළිකා රෝගී තත්ත්වයන් හේතුවෙන් වසරකට 19,000 කට ආසන්න පිරිසකගේ ජිවිත අහිමි වන බවයි තවදුරටත් අනාවරණය වී ඇත්තේ. 

මෙම කරුණු හෙළි වූයේ මෙරට පිළිකා රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වන ජාතික ප්‍රතිපත්ති සහ උපාය මාර්ගික සැලැස්ම පිළිබඳ සමාලෝචනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලද විශේෂඥ කණ්ඩායම සමග පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

ලෝකයේ පිළිකා රෝගය පාලනය සඳහා සේවා සපයනු ලබන ප්‍රමුඛ පෙළේ ආයතන 10 ක් නියෝජනය වන පරිදි විශේෂඥයින් 19 දෙනෙකුගෙන් යුත් මෙම විශේෂඥ කණ්ඩායම මෙරටට පැමිණියේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදියි.

ඒ අනුව මෙම විශේෂඥ කණ්ඩායමේ නිර්දේශය වී ඇත්තේ ඉලක්කගත කණ්ඩායම් ලෙස හඳුනාගෙන ඇති වතු කම්කරුවන්, ධීවරයින් සහ ගොවියන් ඉලක්ක කරගත් වැඩසටහන් කඩිනමින් ආරම්භ කළ යුතු බවටයි. 

ගැබ්ගෙල පිළිකා තුරන් කිරීම සදහා මාත්‍රා දෙකකින් කාන්තාවන්ට පමණක් ලබාදෙනු ලබන එන්නත තනි මාත්‍රාවක් බැගින් කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයට ම ලබාදීමටද යෝජනා කර තිබෙනවා.

2025-2035 ජාතික සෞඛ්‍ය උපායමාර්ගික ප්‍රධාන සැලැස්මට පිළිකා මර්දන වැඩසටහන අනුගත කර බලාත්මක කිරීම ඇතුළු නිර්දේශ රැසක් මෙම කමිටුව විසින් මෙහි දී ඉදිරිපත් කර තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ජාතික හා අන්තර්ජාතික සහයෝගයන් ද ලබා ගනිමින් පිළිකා රෝග ව්‍යාප්තිය පාලනය හා වැලැක්වීමට රජය ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවයි.  
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here