රටේ සංචිත තිබියදී රජය තෙල් මිල වැඩි කළේ ගල් අඟුරු වංචාවෙන් වුණ පාඩුව පියවා ගන්නද? – විපක්ෂ නායක සජිත්

0
4

සටහන – රුවන් නෙළුගොල්ල

අප රටේ ප්‍රමාණවත් ලෙස ඉන්ධන ඇති බවට සතියකට පෙර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කියූ බවත් ජනාධිපතිවරයා විසින් ඩීසල් දින 33කට පෙට්‍රල් දින 27කට ගුවන් යානා ඉන්දන දින 49කට සහ බොරතෙල් දින 48කට පවතින බව පවසා ජනතාවට බිය නොවන ලෙසත් ප්‍රමාණවත් ලෙස ඉන්දන පවතින බව පැවසු අතර එසේ තිබියදී තෙල් මිල වැඩිකිරීමට රජය කටයුතු කිරීම ප්‍රශ්නයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වාර්තා වන ආකාරයට දැනට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 87000ක් ඩීසල් මෙට්‍රික් ටොන් 57000ක් ඇති බවත් පිරිපහසුදුව හරහා දිනකට ඩීසල් මෙට්‍රික්ටොන් 1800ක් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 500ක් ද නිපදවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මේ තෙල් ගත්තේ ලෝකයේ තෙල් බැරලයක මිල ඩොලර් 70ක් ඇති කාලයේ බවත් තවත් මෙට්‍රික් ටොන් 40000 නැව් දෙකක් එනවා කියු රජය හිටිහැටියේම තෙල් මිල විශාල මුදලකින් වැඩි කර ඇති බවත් මේ තරම් ප්‍රමාණයක් තෙල් තිබිලත් ඒවා මිලදී ගත්තේ අඩු මිලකින් නම් තෙල් මිල වැඩි වුණා කියා දේශීය තෙල් මිල වැඩි කිරීම ගැටලුවක් බවත් මේ තෙල් මිල වැඩි කිරීම යනු ජනතාවට කරන ලද අසාධාරණයක් බවත් මේ වන විට ලෝකයේ ඉහළ ගිය තෙල් මිල පවා පහළ ගොස් ඇති බවත් දත්ත තොරතුරු නොසොයා රජය කලබලයට තෙල් මිල වැඩි කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපති කියන්නේ එක දෙයක් කරන්නේ තව දෙයක්

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වේ එක දෙයක් වුුවත් ක්‍රියාත්මක කළේ වෙනත් දෙයක් බවත් තෙල් බැරලයක මිල ඩොලර් 70ට ඇති මොහොතක මිලදී ගත් තෙල් ඒ මිලටම දිය යුතු බවත් මෙසේ මිල වැඩි කිරීම අසාධාරණයක් බවත් තෙල් මිල සූත්‍රයක් ක්‍රියාත්මක වීමේදී විනිවිදභාවය වගවීම වගකීම සාධාරණත්වය තිබිය යුතු වුවත් ජවිපේ රජය සහ ජනාධිපතිවරයා කියන දේ නොකරන බව පෙනී යන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ රජය දිගින් දිගටම ජනතාව මංමුලා කරනවා

දිගින් දිගටම රට රවටම ජනතාව මංමුළා කරන බොරු සූත්‍රයේ දිගුවක් ලෙස තෙල් මිල වැඩි කරන බවත් ලෝකයේ භූ දේශපාලනය ගැන රජය මාස ගණනාවක් පුරා නොදැන සිටීමද පුදුමයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගබඩා ධාරිතා තිබියදී සංචිත තියා ගත්තේ නැත්තේ ඇයි

පෙට්‍රල් මෙට්‍රික් ටොන් ලක්ෂයක ඩීසල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක ගබඩා ධාරිතා ඇති බවත් රජය උපායමාර්ගිකව සිතා මේ ගබඩා දියුණු කර මේ තත්ත්වයට මුහුණ දිමට කටයුතු කළේ නම් එය ජනතාවටත් රටටත් සෙතක් බවත් රජය එසේ නොකිරීම ජවිපේ ආණ්ඩුවේ දුර්වල රාජ්‍ය පාලන ලක්ෂණයක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රජය සිය වගකීම පැහැර හැරලා

මිල අඩුවට ගත් තෙල් සහ එයට සාපේක්ෂව නිර්මාණය කළ මිලට තෙල් දිය යුතු බවත් වැඩිපුර ඇති තෙල් පැවැති මිලට ලබා දීම යුක්ති සහගත හා සාධාරණ බවත් මෙතරම් ගබඩා තිබියදීත් තෙල් සංචිතයක් නිර්මාණය කරන්න කටයුතු නොකළේ ඇයිද කියා රජයෙන් ප්‍රශ්න කළ යුතු බවත් උපායමාර්ගික ඉන්ධන සංචිතයක් ඇති කිරීම වගකිව යුතු රජයක වගකීමක් හා යුතුකමක් බවත් මිල උච්චාවචනය හරහා පාරිභෝගිකයන්ට අත්වන පාඩුව මේ තුළින් මගහරවා ගත හැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විදේශ ඇමති භූ දේශපාලන වෙනස්වීම් ගැනවත් දන්නේ නෑ

ඉන්ධන හා බලශක්ති සුරක්ෂිතතාව ඇති කිරීම රජයේ යුතුකම වුවත් එම යුතුකමින් රජය බැහැර වී ඇති බවත් විදේශ අමාත්‍යාවරයා කියු ආකාරයට හෝමුස් සමුද්‍ර සන්ධියේ ඇතිවන ගැටලුව අප රටට බල නොපාන බව පැවසු බවත් ලෝකයේ තෙල් ප්‍රවාහනයෙන් 20%ක් මේ සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බව විදේශ අමාත්‍යවරයා නොදැන සිටීම පුදුමයක් බවත් ගෝලීය යථාර්ථය නොසලකා හැර රජය බලශක්ති ප්‍රතිපත්තිය සකස් කරන බවත් දැනට තිබෙන සංචිතවල මිල වෙනස් කර විශාල මිල වැඩි කිරීමක් කර ජනතාවගෙන් පිට්පොකට් ගහන්න හදන්නේ ගල් අගුරු වංචාවෙන් සිදු වූ පාඩුව පියවා ගන්නට ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රජය ගෙන ආ බාල ගල් අගුරුවලින් සිදුවු අලාභය පියවා ගන්න රජය ඉවක්බවක් නැතිව තෙල් මිල වැඩි කර ඇති බවට සැකයක් පවතින බවත් ඊයේ වැඩි කළ තෙල් මිල රජය වහාම අඩුකළ යුතු බවත් පාරිභෝගිකයන්ට සාධාරණය යුක්තිය ඉටු කළ යුතු බවත් ලෝකයේ තෙල් මිල වැඩි වන විට වැඩි කළ තෙල් මිල ලෝකයේ තෙල් මිල අඩුවන විට ද අඩුකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (10) දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

The post රටේ සංචිත තිබියදී රජය තෙල් මිල වැඩි කළේ ගල් අඟුරු වංචාවෙන් වුණ පාඩුව පියවා ගන්නද? – විපක්ෂ නායක සජිත් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here