ගම්මන්පිලට එරෙහිව දේපල වංචා නඩුවේ ඔස්ට්‍රේලියානු කතගේ සාක්කිය සූම් තාක්ෂණය ඔස්සේ ගැනීමට නියෝග – Saru News | සිංහල

0
3

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක් වන පෑන් ඒෂියා බැංකුවේ රුපියල් මිලියන 20කට වැඩි වටිනාකමක් ඇති කොටස් ප්‍රමාණයක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ හිටපු ඇමැති උදය ගම්මන්පිලට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ අවසන් සාක්ෂිකාරිය වන ඔස්ට්‍රේලියානු ජාතික ජැනට් ෂැඩික්ගේ සාක්ෂි කැඳවීම සඳහා සතියක් ඇතුළත දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇගේ ඇටෝනි බලකරුට කොළඹ මහාධිකරණය ඊයේ (09) නියෝග කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ නිව් වෙස්ටන් ප්‍රදේශයේ වාසය කරන පැමිණිල්ලේ සාක්ෂිකාරියගේ සාක්ෂිය එහි ශ්‍රී ලංකාවේ කොන්සල් කාර්යාලයේ සිට සමකාලීන ශ්‍රව්‍ය දෘශ්‍ය සම්බන්ධකයක් (සූම්) ඔස්සේ ගැනීමට නියෝග කර ඇති කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවන්දුරුගොඩ, එම අවස්ථාව තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණය කරන ලෙස මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කර ඇත.

ඊයේ (09) නඩුව කැඳවූ අවස්ථාවේ සාක්ෂිකාරියගේ ඇටෝනි බලකරු ලෙස ආර්. ලසිත් ඉන්දීවර පෙරේරා යන අය අධිකරණය ඉදිරියේ පෙනී සිටි තිබේ. සාක්ෂිකාරියගේ දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කිරීම ඔහුට නියම කෙරිණි. ඩිජිටල් නොමිනීස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ජෝන් ෂැඩික් සහ ඔහුගේ බිරිය වන ජැනට් එළිසබෙත් ෂැඩික් යන තැනැත්තන්ගේ අත්සන් යොදා 1997 අප්‍රේල් 18දිනට දාතම කර සකස් කළ ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් මඟින් පෑන් ඒෂියා බැංකුවේ කොටස් විකිණීමේ චෝදනාව යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.

විත්තිකරුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 113 (අ), 102, 389 යන වගන්ති යටතේ නඩු පැවරීම සිදුව ඇත.

රුපියල් මිලියන 21කට වැඩි වටිනාකමින් යුක්ත පෑන් ඒෂියා බැංකුවේ ව්‍යාපාර කොටස් සාපරාධී සාවද්‍ය පරිහරණය හා කූට ලේඛන සකස් කිරීමේ චෝදනා යටතේ නීතිපති විසින් 2016 වසරේදී මෙම නඩුව පවරා තිබේ.

පූර්වගාමී විනිසුරුවරයකු ඉදිරියේ 2024 වසරේ නොවැම්බර් 25දා නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිල්ලේ 3 වැනි සාක්ෂිකරුට 196 වගන්තිය යටතේ සිතාසි නිකුත් කර ඇත.

සාක්ෂිකාරියගෙන් සමකාලීන ශ්‍රව්‍ය දෘශ්‍ය සම්බන්ධකයක් (සූම්) ඔස්සේ සාක්ෂි විමසීමට සූදානම් වීමේදී විත්තිය විරෝධතාවක් ඉදිරිපත් කර තිබේ.

2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනත සහ 2025 අංක 7 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනතේ 273 (ජ) වගන්තිය එකිනෙකට ස්වායත්ත පනත් දෙකක් බව ප්‍රකාශ කළ රජයේ අධිනීතිඥ ශක්තික ජාගොඩආරච්චි මහතා ඒ අනුව සාක්ෂිකාරියගේ සාක්ෂි විමසීමට හැකි බව ප්‍රකාශකර ඇත.

එම කරුණු දැක්වීම පිළිගත් අධිකරණය නඩුවේ කාර්යපටිපාටිය සමඟ අනුකූල වීම සඳහා සාක්ෂිකාරියගේ දිවුරුම් ප්‍රකාශයක් ගැනීමට හා ඇගේ අනන්‍යතාව සහතික කර ගැනීමට නියෝග කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද ඉදිරියේ මෙම නඩුව මෙයට පෙර කැඳවා ඇත.

ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටී.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here