මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට කෝප් කාරක සභාවේ අප්‍රසාදය

0
13


මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය නොකොට රුපියල් බිලියන 2ක පමණ මුදලක් වැය කරමින්, කුලියට වෙනත් ගොඩනැගිල්ලක තවදුරත් රැඳී සිටීම සම්බන්ධයෙන් කෝප් කාරක සභාව අධිකාරියේ නිලධාරීන්ට සිය අප්‍රසාදය පල කර තිබෙනවා .

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 5 වනදා සහ 27 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ තිබුණ බවයි සඳහන් වන්නේ .

එම අවස්ථාවේදී සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ නිලධාරීන් හට සෘජු පිළිතුරු ලබා දීමට නොහැකි වීම සම්බන්ධයෙන් කාරක සභා සභාපතිවරයා මෙලෙස සිය අප්‍රසාදය පළ කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

අධිකාරියට යාබදව ඉදිකිරීම් ආරම්භ කළ සාප්පු සංකීර්ණ හේතුවෙන් අධිකාරියට අයත් ගොඩනැගිල්ල රැඳී සිටීමට නුසුදුසු තත්ත්වයකට පත් ව ඇති අතර ඒ අනුව සිදුව ඇති හානියට වන්දි ලෙස මාසිකව රුපියල් මිලියන 3ක කුලී පදනමක් සහිතව වෙනත් ගොඩනැගිල්ලක් එම සමාගම විසින් අධිකාරියට ගෙවීමට යෝජනා කර තිබෙනවා .

නමුත් එය ප්‍රතික්ෂේප කරමින් 2021 වසරේ සිට රුපියල් බිලියන 2ක පමණ කුලී මුදලක් වැය කරමින් වෙනත් ගොඩනැගිල්ලක අධිකාරියේ කටයුතු පවත්වා යනු ලබන බවට මෙහිදී අනාවරණය වී තිබෙනවා .

තවද මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය (CECB) මගින් රුපියල් මිලියන 21ක් වැනි මුදලකින් අධිකාරියට අයත් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කළ හැකි බවට තක්සේරු කොට තිබියදී එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියද මග හරිමින්, අදාළ සමාගම විසින් යෝජනා කළ මාසික වන්දි මුදල ද ලබා නොගනිමින්, රු. බිලියන 2ක පමණ මුදල් ප්‍රමාණයක් වැය කර ඇති බවයි කෝප් කාරක සභාව හමුවේ හෙළි වී ඇත්තේ .

මේ අතර, නිවැරදි ක්‍රියාවලියෙන් පරිබාහිරව, විධිමත් අනුමැතියකින් තොරව හෙරනියාවක මැණික් ගැරීම් සිදු කිරීමට ඉඩ හැරීම පිළිබඳව කෝප් කාරක සභාව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා .

එහිදී, ප්‍රශ්නගත සමාගමට අදාළව අධිකාරිය විසින් ගිවිසුම් දීර්ඝ කිරීම් සිදුකළ අවස්ථාවන්හී නිරවද්‍යභාවය පිළිබඳව කාරක සභාව ප්‍රශ්න කරනු ලැබූ අතර මේ සම්බන්ධයෙන් කාරක සභාව දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් හමුවේ නිලධාරීන් හට සෘජු පිළිතුරු ලබා දීමට නොහැකි වීම සම්බන්ධයෙන් කාරක සභා සභාපතිවරයා සිය අප්‍රසාදය පළ කර තිබෙන බව සඳහන් .

තව ද, මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කිරීමට කාරක සභා ලේකම්වරිය හට කෝප් කාරක සභාව නිර්දේශ කළ අතර, අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට අමාත්‍යංශ ලේකම් හට නිර්දේශ කර තිබෙනවා .

තවද, අඩු තක්සේරුවක් යටතේ අපනයනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන්, අධිකරණය මගින් රාජ සන්තක වූ Elegant Gems ආයතනයට අයත් කෝටි 25ක මැණික් මල්ලක්, එම ආයතනයටම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි මාණ්ඩලික අනුමැතියකින් තොරව, අවම දඩ මුදලකට යටත්ව මුදා හැරීම අධිකාරිය සතු වගකීම පහර හැරීමක් බව මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන බවයි කෝප් කාරක සභාව අවධාරණය කර ඇත්තේ.

ඒ අනුව, රු. 10,000 / = ක් වන අවම දඩ මුදලේ සිට රු. ලක්ෂ 333,000 /= දක්වා දඩ මුදලකට යටත් කිරීමේ හැකියාව තිබියදී අවම දඩ මුදලට යටත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව කෝප් කාරක සභාව පැමිණ සිටි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා .

මෙහිදී කොන්දේසි කඩ කිරීමක් පමණක් සිදු කොට ඇති බවත්, නිශ්චිත වරදක් නොමැති බවත් පෙන්වා දුන් නිලධාරීන් පවසා සිටියේ එම නිසා අවම දඩ මුදල වන රුපියල් 10,000 /= ට යටත්ව මෙසේ නිදහස් කරනු ලැබූ බවයි.

අඩු තක්සේරුවක් යටතේ අපනයනය කිරීමට තැත් කිරීම හේතුවෙන් අධිකරණයක් විසින් රාජ සන්තක කිරීම නිශ්චිත වරදක් නොවන්නේ කෙසේද යන්න පිළිබඳව කරුණු විමසු කෝප් කාරක සභාව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් විසින් කෝප් කාරක සභාව නොමග යැවීමට තැත් කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන ලදී.

තව ද නියාමන කාර්යය වෙනුවෙන් ස්ථාපිත කර ඇති මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, සිය නියාමන කාර්යභාරය පැහැර හරිමින් ව්‍යාපාර කටයුතු කොට ඇති බව කෝප් කාරක සභාව පෙන්වා දී තිබෙනවා .

මෙම ආයතනයේ පසුගිය ක්‍රියා කලාපය පිළිබඳ පරීක්ෂාකර බැලීමේදී මේ බව පැහැදිලි වන බව කෝප් කාරක සභාව අවධාරණය කළ බව සඳහන්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here