විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් ති ටෑම් (Trinh Thi Tam) මහත්මිය අතර විශේෂ නිල හමුවක් ඊයේ (06) විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ඉතා සුහදශීලී අයුරින් පැවති මෙම සාකච්ඡාවේදී දෙරට අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා අත්සන් තැබීමට නියමිත නව අවබෝධතා ගිවිසුම (MoU) සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය. මෙම ගිවිසුම හරහා ඉදිරියේදී දෙරට අතර තාක්ෂණික සහයෝගීතාව වඩාත් ශක්තිමත් අයුරින් ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කෙරේ. මේ වන විටත් වියට්නාම රජය පාර්ශ්වයෙන් ඊට අදාළ මූලික කෙටුම්පත් කිරීම් සහ නෛතික කටයුතු අවසන් කරමින් පවතින බව තානාපතිනිය එහිදී අමාත්‍යවරයා වෙත දැනුම් දුන්නාය.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින් මේ වන විටත් විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අවබෝධතා ගිවිසුම් 50කට ආසන්න ප්‍රමාණයක් අත්සන් තබා ඇත. එහෙත්, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර ඇති කරගන්නා ප්‍රථම අවබෝධතා ගිවිසුම මෙය වීම සුවිශේෂී මෙන්ම ඓතිහාසික සන්ධිස්ථානයක් බව දෙපාර්ශ්වයේම අදහස විය.
ආසියානු කලාපය තුළ භූගෝලීය වශයෙන් මෙන්ම කෘෂිකාර්මික මුහුණුවරකින් ද සමානකම් රැසක් බෙදාගන්නා ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඇතිවන මෙම නව විද්‍යා හා තාක්ෂණික ප්‍රවේශය, දෙරටේම ආර්ථික සහ කාර්මික සංවර්ධනයට සුවිශේෂී උත්ප්‍රේරකයක් වනු ඇතැයි අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා මෙහිදී විශ්වාසය පළ කළේය.
මීට අමතරව, තේ කර්මාන්තය සහ පර්යේෂණ, සංචාරක සහ ධීවර කර්මාන්තය යන ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර දැනුම සහ තාක්ෂණය හුවමාරු කරගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
ලෝක ප්‍රකට ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය සම්බන්ධයෙන් වියට්නාමය දැඩි උනන්දුවක් දක්වන බවත්, ඉදිරියේදී ඊට අදාළ දේශීය පර්යේෂණ කටයුතු සහ නවෝත්පාදන සඳහා සෘජුවම සම්බන්ධ වීමට තමන් අපේක්ෂා කරන බව ප්‍රකාශ කළ තානාපතිනිය, වියට්නාමයේ ජාතික ආර්ථිකයට ඉමහත් දායකත්වයක් සපයන, මේ වන විටත් ලෝකයේ ඉහළම ප්‍රවර්ධනයක් ලබා ඇති එරට සංචාරක සහ ධීවර කර්මාන්තයන්හි සාර්ථකත්වය සහ ඊට යොදාගන්නා නවීන තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාව සමඟ හුවමාරු කරගැනීමට වියට්නාම රජය පූර්ණ කැමැත්තෙන් පසුවන බව ද වැඩිදුරටත් අවධාරණය කළාය.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මොහොමඩ් නවවි මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
Saru News
















