කෙසෙල්වත්තේ දිනූකගේ ප්‍රධානම ගෝලයා දිනූෂට රැඳවුම් නියෝග

0
11

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන ලද කෙසෙල්වත්ත දිනූෂ නැමති සංවිධානාත්මක අපරාධකරුගෙන් පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය කෙසෙල්වත්ත පොලිසියට අවසර ලබාදී තිබේ.

අනතුරුව දින 90ක් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගන්නා බව කෙසෙල්වත්ත පොලිසිය පවසයි.

පෙරේදා (24) රාත්‍රියේ ඉන්දියාවේ චෙන්නයි නුවර සිට මෙරටට පිටුවහල් කර තිබූ අතර එහිදී කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒකකය මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කෙසෙල්වත්ත පොලිසිය වෙත භාර දී තිබිණි.

සැකකරු ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටියදී ඔහුගේ අතකට ඇතිවූ ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර සඳහා ඉන්දියාවේ රෝහලකට පැමිණ ඇති බවත් දින 20කට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන අනතුරුව නැවත ඩුබායි රාජ්‍ය බලා යෑමට පැමිණි අවස්ථාවේදී තමන් චෙන්නයි ගුවන්තොටුපළේ රැඳී සිටිමින් සෙල්ෆි ඡායාරූප ගැනීම හේතුවෙන් ගුවන් යානයට නිසි වේලාවට යෑමට ප්‍රමාද වූ බවත් සැකකරු පොලිසිය හමුවේ පවසා තිබේ.

එම අවස්ථාවේදී ඉන්දීය ආගමන විගමන නිලධාරීන් තමන් සම්බන්ධයෙන් සැක සිතා පරීක්ෂා කළ බවත් එහිදී තමන්ට විරුද්ධව මෙරට පොලිසිය ලබාගෙන තිබූ රතු නිවේදනයට අනුව අත්අඩංගුවට පත්වූ බවත් සැකකර වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කෙසෙල්වත්තේ දිනූෂ නැමැත්තා ඩුබායිහි සැඟව සිටියෙදි මියගිය ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවකු වූ කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ ප්‍රධානම ගෝලයා බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සිල්වාගේ අධීක්ෂණයෙන් කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්තගේ උපදෙස් මත සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රිතයාත්මකයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here