මාතර සමුපකාර රෝහල් සභාපතිට වසර 07ක තහනම් නියෝගයක්… – Saru News | සිංහල

0
10

මාතර දිස්ත්‍රික් තේ නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිතියේ පාලක මණ්ඩලයේ කටයුතු කරමින් සිටියදී සිදු වූ රුපියල් එක්කෝටි අනූ ලක්ෂයකට අධික මූල්‍ය අලාභයක් සම්බන්ධයෙන් වරදකරු වීම නිසා සී/ස මාතර විවිධ සේවා සමූපකාර සමිතියේ සහ සී/ස මාතර දිස්ත්‍රික් ආරෝග්‍යශාලා සමූපකාර සමිතියේ සභාපති ලෙස කටයුතු කළ චමින්ද ප්‍රසංග ගුණසේකරට ඉදිරි වසර හතක (07) කාලයක් යනතුරු කිසිදු සමුපකාර සමිතියක තනතුරක් දැරීම තහනම් කරමින් දකුණු පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනයකට අනුව, අදාළ සමිතියේ කටයුතු මෙහෙයවීමේදී සිදු වු මුල්‍ය අක්‍රමිකතාවයක් හේතුවෙන් රුපියල් එක්කෝටි අනූ ලක්ෂ දෙදහස් තුන්සිය හැට දෙකක (රු. 19,002,362) මූල්‍ය අලාභයක් සිදු කිරීමට වගකිව යුතු බවට මොහු ඇතුළු පිරිසක් හඳුනාගෙන තිබේ.

2019 අංක 06 දරන දකුණු පළාත් සභාවේ සමුපකාර සමිති ප්‍රඥප්තියේ 43.1 (ඉ) (ii) වගන්තිය යටතේ මෙම නියෝගය පනවා ඇති අතර මෙම නියෝගය නිකුත් කළ දින සිට ඉදිරි වසර 07ක  කාලයක් ගතවන තෙක් කිසිදු සමුපකාර සමිතියක කිසිදු තනතුරක් දැරීමට, නිලයකට පත්වීමට හෝ පත් කරනු ලැබීමකට චමින්ද ප්‍රසංග ගුණසේකර නුසුදුස්සෙකු වන බව දකුණු පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් නිල වශයෙන් දන්වා ඇත.

ඒ අනුව සී/ස මාතර විවිධ සේවා සමූපකාර සමිතියේ සහ සී/ස මාතර දිස්ත්‍රික් ආරෝග්‍යශාලා සමූපකාර සමිතියේ සභාපති ධුරවලින් සහා වෙනත් සමූපකාර සමිති කිහිපයක අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික ධුරයන්ගෙන් ඉවත් කර තිබේ.

ඔහු පසුගිය කාලයේ බලයේ සිටි මේ වනවිට පරාජිත දේශපාලන කණ්ඩායම් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගනිමින් නීතිවිරෝධී කටයුතු රැසක් කරමින් සිටින පුද්ගලයෙකු බවත් මේ වනවිට එම කටයුතු සම්බන්ධයෙන් අධිකරණ කටයුතුද සිදුවෙමින් පවතින බවත් වැඩිදුරටත් වාර්තා වේ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here