ශ්‍රී ලංකාවේ පිහිටි තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාලවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
එම ආරක්ෂක වැඩපිළිවෙළ නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
ගෝලීය වශයෙන් උද්ගත වී ඇති අර්බුධකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මෙරට ආරක්ෂාව හා සාමය පවත්වාගෙන යාමට බාධා විය හැකි සිදුවීම් වැළැක්වීමේ අරමුණින් පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත මෙම උපදෙස් නිකුත් කර ඇත.
ඒ අනුව, තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල, එම නිල නිවාස හා අදාළ අනෙකුත් ස්ථානවල ආරක්ෂාව තරකරමින් විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී තිබේ.
එමෙන්ම, මෙරට සංචාරයේ නියුතු හා රැඳී සිටින විදෙස් ජාතිකයින්ගේ ජීවිත හා දේපළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාද පැය 24ම ආවරණය වන පරිදි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබාදී ඇත.
ඔවුන් රැඳී සිටින වාසස්ථාන, ව්‍යාපාරික ස්ථාන, සංචාරක ගමනාන්ත, නේවාසික ගොඩනැගිලි සහ ආගමික මධ්‍යස්ථානවල ආරක්ෂාව ද මේ යටතේ තහවුරු කෙරේ.
අවශ්‍යතාවය මත මෙම ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සහාය ලබාගැනීමටද උපදෙස් ලබාදී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර මැද පෙරදිග පවතින තත්ත්වයට අදාළ කටයුතු සම්බන්ධීකරණයට හදිසි ප්‍රතිචාර ඒකකයක් පිහිටුවා තිබේ.

Saru News
















