ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට සුළු තුවාල

0
4

උතුරු ඊශ්‍රායලයට අද (02) එල්ල වූ ප්‍රහාරයක් අතර තුර ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් සුළු තුවාල ලබා ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

එලෙස තුවාල ලබා ඇත්තේ කඩවත ප්‍රදේශයේ 43 හැවිරිදි කාන්තාවක් බවද ඔහු අනාවරණය කළේය.

අදාළ කාන්තාව රෝහල් ගත කර තත්ත්වය බරපතළ නොවන බැවින් වෛද්‍යවරු විසින් නැවත ඇය පදිංචි ස්ථානය වෙත යොමු කළ බවද නිමල් බණ්ඩාර මහතා පැවසීය. 

එම නිවසට ප්‍රහාරවලින් හානි සිදුව ඇති බැවින් ඇය වෙනත් ස්ථානයකට පදිංචියට ගිය බවද නිමල් බණ්ඩාර මහතා කියා සිටියේය.

ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු මේ වන විට මැදපෙරදිග යුද ගැටුම් උත්සන්න වී අදට දින තුනක් ගතවී තිබේ.

ඊශ්‍රායලයෙන් ඉරානයේ තෝරාගත් ස්ථාන ගණනාවකට සහ ලෙබනනයේ දකුණු කලාපයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල වෙමින් පවතින බවද නිමල් බණ්ඩාර මහතා පවසයි.

හිස්බුල්ලා සංවිධානය විසින් උතුරු ඊශ්‍රායලයේ හයිපා ප්‍රදේශය ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද මිසයිල දෙකක් එල්ල කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අද දිනය තුළ එල්ල කරන ලද එවැනි ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ තැන් රැසක සුළු සිද්ධීන් වාර්තා වී ඇති අතර, එහිදී ඊශ්‍රායල ජාතිකයින් කිහිපදෙනෙකු මියගොස් ඇති අතර, මිසයිල කොටසක් කඩා වැටීමෙන් පිලිපීන ජාතික සාත්තු සේවිකාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙහිදී නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඊශ්‍රායල රජය විසින් හදිසි තත්ත්වයක් තුළ දින පවත්වාගෙන ගිය අතර එය තවත් දින දෙකක් දක්වා දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර ඇති බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here