මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් එම ගුවන් කලාපය හැර අනෙකුත් සියලු ගුවන් ගමන් ආරම්භ කර ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඇතැම් ගුවන් කලාප සීමිත ගුවන්වාර සඳහා පමණක් විවෘත කර ඇති බවය.
ඒ අනුව මැදපෙරදිග සඳහා යන එන සියලු ගුවන් ගමන් අද (02) රාත්‍රී 12 දක්වා අවලංගු කර ඇති බවද සඳහන් කර සිටි අමාත්‍යවරයා, අද රාත්‍රියෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ තීරණය කරන බවද පැවසීය.
මේ අතර, යුදමය තත්ත්වය තුළ විවිධ ගුවන්තොටුපොළවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ඉතා ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ කටයුතු සිදුකරමින් සිටින බවද පැවසු අමාත්‍යවරයා ලංකාවෙන් පිටව යෑමට සිටි ගුවන් මගීන්ගේ වීසා ඇතුළු අනෙකුත් කටයුතු සලසා දීමෙන් ඔවුන්ට ලංකාව තුළ තවදුරටත් රැඳී සිටීමට අදාළ පහසුකම් සපයා දී ඇතැයි ද පැවසීය.
එමෙන්ම දැනට ලංකාවට පැමිණෙන්න නියමිතව තිබූ නැව්වලට බාධා ඇති වී නොමැති බවත්, නැව් කිහිපයක් කොළඹ සහ හම්බන්තොට වරායවලට පැමිණීමට අවශ්‍ය පහසුකම් ඉල්ලා ඇති බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට සුදානම් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදරුටත් සඳහන් කර ඇත.
Saru News















