තම දියණියන් දැඩි දඬුවමින්ද , අතුල් පහරවලින් ද, කෝටු කසායෙන්ද මට්ටු කරන්නට තැනූ පියෙක්ට , තම දියණියන්ගේ ආදරය තමන්ගෙන් ගිලිහී යාම ගැන හාංකවිසියක්වත් දැනගන්නට ලැබුණේ නැත.
දිනපතා තම දියණියන් වාචිකව පීඩාවට පත් කළ, අන් අයගේ දරුවන් සමඟ සංසන්දනය කළ , නිතර පරිභවයට ලක් කළ මවකට දියණියන්ගේ චිත්ත පීඩාවක් හෝ මානසික අරගලය ගැන හාංකවිසියක්වත් දැන ගන්නට ලැබුණේ නැත. ගණිතය සහ ඉංග්‍රීසි විෂයන්ට අඩු ලකුණු ලබා ගන්නා නමුදු චිත්‍ර කර්මය උපන්ගෙයිම පිහිටා තිබූ පුතුගේ පින්සල්ද, පාට පැන්සල්ද, චිත්‍ර පොත්ද ,මිදුලට වීසි කළ තාත්තාට සහ එයට අනුබල දුන් අම්මාට, පුතුගේ මානසික බිඳවැටීම දැනගන්න ලැබුණේ නැත.
ආදරය වෛරයකට හැරවෙන පුංචි වැට සීමාව තමන් අතික්‍රමණය කර ඇති බව ඒ දෙමාපියෝ දැන ගන්නා විට අශ්වයා ස්ථාලයෙන් පැන ගොස් තිබිණි.
ජීවිත වල වටිනාකම් ඔට්ටුවට තැබූ පෘථිවිය නම් සූදූපලෙහි අති ධාවනකාරී ජීවිතය අභිමුවේ, හිමිවන වටිනාකම්වලට වඩා අහිමි වූ මානුෂික වටිනාකම් ඉතා විශාල බව අප තේරුම් ගත යුතුය. ජීවිතය අසීරු වන්නේ ඔබට සහ මට පමණක් නොවේය.සියල්ලන්ටමය. වෙනස් කළ නොහැකි පොදු ධර්මතා හැරුනු කොට අනෙක් සියල්ල අපට වෙනස් කළ හැකි බව හෝ කළ හැකිව තිබුණු බව දෙමව්පියන් වන අපි තේරුම් නොගන්නේ ඇයි?
අපි ඒ ගැන කතා කරමු.
හැම මවක්ම, හැම පියෙක්ම දරුවාගේ මුල් ගුරුවරු ලෙස පිළිගැනෙන නමුදු ඔවුන් විසින් ඒ තනතුර නිසි ලෙස හසුරවනවාද යන්න විවාදිතය.
විද්‍යාඥයින් මේ සම්බන්ධයෙන් පළ කරන හොඳම අදහස වනුයේ ,ඔබ හොඳ දෙමව්පියෙක් වෙන්නට නම් ඩොල්ෆින් මාළුවන් ගෙන් ඉගෙන ගත යුතු බවයි.
සමාජශීලී, සහජ බුද්ධියක් ඇති, ජව සම්පන්න බවින් යුක්ත, ඉතා ප්‍රබෝධමත්, විනෝදකාමී ක්‍රීඩාවට බර ඩොල්ෆින් මාළුවා බොහෝ හැගීම් වල දී මිනිසාට ඉතාම ආසන්න සමානකම් දක්වන බව විද්වත් මතයයි. තම පැටියා ඉපදුන පළවෙනි මොහොතේම ඩොල්ෆින් මව තම දරුවා ගේ ගුරුවරයා බවට පත්වීමට කටයුතු කිරීම, සහජයෙන්ම අරඹන අතර ඉතා ආදරණීය සහ සාමකාමී කුඩා ජීවියෙකුගේ වර්ධනය එතනින් පටන්ගැනෙන්නේය.
ඩොල්ෆින් මාළුවන් නිතරම සිටින්නේ සතුටිනි. තම කුඩා පැටවුන් සමග ගැඹුරු දිය හා නොගැඹුරු දියේ ගිලෙමින් පාඩම් උගන්නන්නේ සෙමිනි. තම පැටවා සියල්ල ග්‍රහණය කර ගන්නා තුරු අසමාන ඉවසීමෙන් සිටීමට මේ ක්ෂීරපායි සත්වයා දනී නම් ඉතා උසස් මනසක් ඇති මනුෂ්‍යයාට ඉවසීමට නොහැක්කේ ඇයි? ඔබේ පුංචි දරුවන් වැරදි වැරදි හෝ නිවැරදි දේ කරන තුරු ඉවසා සිටින්න . මන්ද ජීවිතය පාඩම් උගන්වන්නේ මන්දගාමීවය. ඔබේ අසමාන ඉවසීම, අනාගතයේ ඉතා සංතුලනාත්මක ජීවියෙක් මහපොළොවට දායාද කරනු ඇති බව අපේ විශ්වාසයයි.
ඩොල්පින් මව්වරුන්ට ඉතා විශිෂ්ට මට්ටමේ සන්නිවේදන පද්ධතියක් ඇත. තම දරුවන් කිලෝමීටර් ගණනක් ඈත මහ මුහුදේ ගැඹුරු දියේ සිටියත් ඔවුන් හා සන්නිවේදනය කිරීමට ඩොල්පින් මව්වරුන්ට හැකියාව ඇත. ඔබ ඔබේ දරුවා සමඟ හොඳින් සන්නිවේදන කාර්යය සිද්ධ කරනවාද? ඔබේ දරුවාගේ සිතැඟි සහ ආශාවන් ගැන ඔබට අවබෝධයක් තිබෙනවාද?
“තාත්තාගේ ආදරය කොන්දොස්තරගේ ඉතුරු සල්ලි වගේ, තියෙනවා කියලා දන්නවා නමුත් ඉල්ලන්නේ නැහැ, කොන්දොස්තර දෙන්නෙත් නැහැ” කියා කියමනක් සමාජ මාධ්‍ය වල සංසරණය වනවා ඔබ දැක ඇතැයි සිතමු. ඔබ ඔබේ දරුවන්ට ආදරේ බව අවසානයට කීවේ කවදාද? ඔවුන්ට අවශ්‍ය මොනවාද? ඔවුන් යම් ගැටලූවක සිටිනවාද ? කියා ඔබ අවසානයට තුරුලට ගෙන ඇසුවේ කවදාද? දරුවන් සමග හොඳ සන්නිවේදන පද්ධතියක් ඇති කර ගැනීමෙන් ඔබ අනාගතයේ වඩා හොඳ සවන් දෙන්නෙක් මේ සමාජයට මුදාහරිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ඩොල්පින් මව්වරුන් නිතර සතුටින් ඔවුන්ගේ දරුවන් සමඟ ක්‍රීඩා කරති. මහා ගැඹුරු දියඹේ ජීවිතය අනලස්ව පවත්වාගෙන යෑමට ඔවුහූ දරුවන්ට දිරි දෙති. ඔබ ඔබේ දරුවාගේ ක්‍රීඩා කුසලතා වැඩිදියුණු කිරීමට සහ එමගින් ඔවුන්ගේ සංඡානන කුසලතා සහ ක්‍රියා ( cognitive skills and tasks) වර්ධනය කිරීමට දවසේ කොපමණ කාලයක් වැය කර තිබේද? පුංචි තේරවිල්ලකින්, පුංචි පද පෙරලීමකින් පවා දරුවෙකුගේ පරිකල්පන ශක්තිය ගොඩ නැගිය හැකිව තිබූ බව ඔබ විශ්වාස නොකිරීමට තරම් කිසිදු සාධාරණ හේතුවක් නැත.
ඔබේ දරුවාගේ ඉල්ලීම් සහ ඔහුගේ හඬට ඔබ කොයි තරම් දුරට අවධානය යොමු කරනවාද? දරුවන් තම යහළුවන් සමග කෙළිදෙලෙන් ගතකිරීමට ඔබෙන් කරන පුංචි ඉල්ලීමක් ඔබ ඉතා නපුරු විදිහට බැහැර කරනවා නම් ඔබ කරන්නේ වැරැද්දක් බව ඔබ තේරුම් ගත යුතුය . ඉතා කුඩා දේ කෙරෙහි ඔබ මවක් හෝ පියෙක් ලෙස නම්‍යශීලී වීම තුළින් දෙන ආදර්ශයෙන් සහකම්පනය ඇති යහපත් පුරවැසියකුට අනාගත ලෝකයේ දොර කවුළු විවර වෙනු ඇත .
ඩොල්ෆින් මව්වරුන් සැමවිටම තමන්ගේ පුංචි පැටවුන්ට, අනෙක් ඩොල්ෆින් පැටවුන්ගේ මව්වරු සමග මුහු වීමට ඉඩ ලබා දෙති. අප සමාජයේ බොහෝ මව්පියවරුන් අනෙකාගේ දරුවන් පරයා තම දරුවන් ඉදිරියට යැවීමට ඉතා තරගකාරී සහ සංකීර්ණ ජීවිතයකට අවතීර්ණ වී සිටිති. ඒ බොහෝවිට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැනි ඉතා පටු මහා කුරිරු හැඟීම් වලිනි. ජයග්‍රහණයට වඩා සෑම විටම සහභාගිත්වය වැදගත් බව ඒත්තු ගන්වනු විනා, සෑම විට ම අනුන් පරයා නැගෙන මිනිසෙකු වීමට ඔබේ කුඩා දරුවාට දිරිදීම ඔබ නොකළ යුතුය. මන්ද යහපත් සමාජ සම්බන්ධතා සම්බන්ධතා වලට නිතරම දරුවන්ට දිරි දීම තුලින් හොඳ මිතුරෙකු වීමට, හොඳ අසල්වැසියෙකු වීමට සහ යහපත් පුරවැසියෙක් වීමට මග පෙන්විය හැක්කේ ඔබට පමණක් වීම නිසාය.
Saru FM Media