ඉරානයට එල්ල වූ දැවැන්ත ප්‍රහාරවලින් එරට පාලන තන්ත්රයේ ප්රබලතම චරිත රැසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව මේවන විට තහවුරු වී තිබේ.
විදේස් මාධ්‍ය පවසා ඇත්තේ මෙම ප්‍රහාරවලින් සමස්තයක් ලෙස ඉරාන නිලධාරීන් 40 දෙනෙකු පමණ මියගොස් ඇති බව බුද්ධි අංශ සනාථ කර ඇති බවය.
මියගිය ප්‍රධාන පෙළේ නිලධාරීන් වන්නේ,
* ඉරානයේ උත්තරීතර නායකයා – අයතුල්ලා අලි කමේනි ඊයේ (28) උදෑසන ටෙහෙරානයේ පිහිටි ඔහුගේ නිල කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගොස් තිබේ.
* ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (Revolutionary Guards) ගොඩබිම් හමුදාපතිවරයා – ජෙනරාල් මොහොමඩ් පක්පූර්
* ඉරානයේ ජාතික ආරක්ෂක උපදේශකවරයා – අලි ෂම්කානි
* ඉරාන ආරක්ෂක අමාත්‍යවරයා- අසීස් නසීර්සාදේ
මෙම ඉහළ පෙළේ නායකයන්ගේ අහිමි වීම ඉරාන හමුදා සහ දේශපාලන ව්‍යුහයට එල්ල වූ මාරාන්තික පහරක් ලෙස සැළකේ.
විශේෂයෙන්ම උත්තරීතර නායකයා සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් එකවර මියයාම හේතුවෙන් ඉරානය තුළ දැවැන්ත පාලන හිස්තැනක් නිර්මාණය වී ඇති බව වාර්තා වල සඳහන් වේ.
මරාගෙන මැරෙන ඩ්‍රෝන..
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණයත් සමග ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය අද මැද පෙරදිග කලාපයේ රටවල් නවයක පිහිටි ඇමෙරිකා හමුදා කඳවුරු 27 කට, ඊශ්‍රායලයේ ආරක්ෂක හමුදා මූලස්ථානය සහ ටෙල් නොෆ් ගුවන් හමුදා කඳවුරුට හයවැනි වරටත් දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
එම ප්‍රහාර මාලාව සඳහා ඉරාන හමුදාව මරාගෙන මැරෙන ඩ්‍රෝන සහ මිසයිල යොදගෙන තිබූ අතර ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීමට ලබාදෙන පිළිතුර ඉතාමත් දරුණු හා වේදනාකාරී එකක් වනු ඇති බවයි.
ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක බළකාය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ කුවේට්හි අබ්දුල්ලා මුබාරක් ප්‍රදේශයේ පිහිටි ඇමෙරිකානු නාවික හමුදා කඳවුරේ ගොඩනැගිලි සම්පූර්ණයෙන් විනාශ කර දැමූ බවත් ඉන් ඇමෙරිකානු හමුදා සෙබළුන් විශාල පිරිසක් මරණයට පත්වූ බවත්ය.
එම ප්‍රහාරය සඳහා බැලස්ටික් මිසයිල හතරක් සහ ඩ්‍රෝන 12 ක් යොදාගත් බවද එම බළකාය නිවේදනය කර තිබේ.
එසේම ඇමෙරිකානු නෞකා සඳහා උණ්ඩ සහ ඉන්ධන රැගෙන ගිය නෞකා දෙකක් විනාශ කර දැමුණු බවත් ඒ සඳහා ඩ්‍රෝන හතරක් සහ ඉරාන කදර් 380 වර්ගයේ මිසයිලයක් යොදා ගත් බවත් විප්ලවවාදී ආරක්ෂක බළකාය ප්‍රකාශ කළේය.
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළටද ඉරානය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර ඉන් ගුවන් තොටුපොළ සේවකයන් පිරිසකට සුළු තුවාල සිදුවී පර්යන්තයන්ට සුළු හානි සිදුව තිබිණි.
Saru News















