අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවල දෙවන දිනය අද(01) යි. ඉරාන ඉස්ලාමීය ජනරජයේ 47 වසරක ඉතිහාසය උඩුයටිකුරු කරමින්, ටෙහෙරානයේ පිහිටි නිල නිවසේදීම උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමත් සමඟ මෙම මෙහෙයුම තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ තිබේ.
මෙම ප්‍රහාර මාලාව මඟින් ඉරාන පාලන තන්ත්‍රය පිළිබඳව අමෙරිකානු සහ ඊශ්‍රායල බුද්ධි අංශ සතු ඉහළ දැනුම මෙන්ම, තම ඉහළම නායකයන් ආරක්ෂා කර ගැනීමට ඉරාන හමුදාව සතු නොහැකියාව ද ලොවට නිරාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉරාන නායකත්වයට මෙය සිය පැවැත්ම තීරණය කරන සටනකි. පසුගිය වසරේ ඊශ්‍රායලය සමඟ පැවති දොළොස් දින යුද්ධයෙන් පසුව ඔවුන් මෙවැනි මොහොතකට සූදානම්ව සිටියද, වර්තමාන ප්‍රහාර හමුවේ ඔවුන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවක් දක්නට ලැබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වත්මන් රජය පෙරළා දැමීම සඳහා ඉරාන ජනතාව දිරිමත් කරමින් සිටින බව විචාරකයන් පවසයි.
ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම සටන හඳුන්වන්නේ “පරම්පරා ගණනාවකට පසු ලැබුණු එකම අවස්ථාව” ලෙසයි.
මෙම වසර මුලදී පැවති විරෝධතා මර්දනය කර දහස් ගණනක් මියගියද, ආර්ථික අර්බුදය සහ පූජක පාලනය පිළිබඳ ඉරාන මහජන අප්‍රසාදය තවමත් පවතී.
කෙසේ වෙතත්, බලගතු ‘ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය’ (IRGC) තවදුරටත් වත්මන් නායකත්වයට පක්ෂපාතීව සිටියි.
ඉරාන සන්නද්ධ බලකායන් විසින් ඉදිරියේ දී දැඩි ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ප්‍රතිඥා දී ඇතත්, පසුගිය යුද්ධයේදී ඔවුන්ගේ මිලිටරි ශක්තියට සිදු වූ හානිය හේතුවෙන් ඔවුන්ට කොපමණ දුරක් යා හැකිද යන්න අපැහැදිලි බව සඳහන් වේ.
එසේම, කලාපය පුරා සිටින ඉරාන හිතවාදී සටන්කාමී කණ්ඩායම් තවමත් නිහඬව සිටින්නේ ප්‍රහාරයන්ට ඉලක්ක වීම වළක්වා ගැනීමට විය හැකි බව විශ්ලේෂකයින් පවසයි.
මේ අතර, ඉරානය දැඩි ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් “මීට පෙර කිසි දිනෙක නොදුටු බලවේගයකට” මුහුණදීමට සිදුවන බවට ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.
මෙම බෝම්බ ප්‍රහාර කෙතරම් කාලයක් පවතිනු ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
Saru News
















